brand logo

බස්නාහිර පළාත් සභාවෙන් පුටු ලෝක වාර්තාවක්!

11 August 2018

ශක‍්‍රයා පඬුපුල් අසුනේ වාඩි වී සිටින පරිද්දෙන් සියුස් දෙවියන් Dios Thronpus නමැති දිව්‍යමය ආසනයක අසුන්ගෙන සිටිතැයි ග‍්‍රීකයෝ විශ්වාස කළහ. ග‍්‍රීක සංස්කෘතියේ ආභාසය ලද පුරාණ බටහිර රජවරු සහ රැජිනියෝ සියුස් දෙවියන්ගේ ආසනය සිහිගැන්වෙන උස් අසුනක අභිෂේක ලැබූහ. ස්කොට් රාජකීයයන් ඔටුනු පැළඳි Stone of scone ගල් පුටුව හා පසුව එය ඔවුන්ගෙන් පැහැරගෙන එ් ඇසුරින් බි‍්‍රතාන්‍ය රාජකීයයන් ඔටුනු පැළඳුමට නිම කළ Coronation Chair හෙවත් King Edward’s Chair ද බිහිවූයේ එසේය. යටත් විජිත සමයේ මේ රාජකීය පුටු උෂ්ණය යටත් විජිත වාසීන්ටද බෝ විණි. අපේ පාලකයන්ට උස් පුටු ලැබෙන්නේ එ් ආභාසය නිසා විනා ශ‍්‍රක‍්‍රයාගේ පඬුපුල් අසුන ඇසුරින් පැරණි රජවරුන් තනවාගත් සිංහාසනවලින් නොවිය හැකිය. අපට එසේ සිතෙන්නේ, අසරණයන්ගේ දුක හමුවේ ශක‍්‍රයාගේත් බොහෝ පැරණි රජවරුන්ගේත් හිත් උණු වූ පරිද්දෙන් වර්තමාන පාලකකාරකාදීන්ගේ හිත් උණු වන බවක් නොපෙනෙන බැවිනි. බක්මහට අකුණු ගසන්නාක් මෙන් එක පිට එක බදු බර ජනතාව පිට පැටවෙද්දී දශ ලක්ෂ ගණනින් මහජන මුදල් කාබාසිනියා කර වැසිකිළි අලූත්වැඩියා කරවීම, 200% ඉක්මවා වැටුප් වැඩි කරගැනීමට අරඇදීම ආදි කරුණු නිසා අපේ දේශපාලන සනුහුරයම ඊයෙ පෙරේදා වන විට බරපතළ ලෙස ජනතා උදහසට පාත‍්‍ර වී සිටියහ. බස්නාහිර පළාත් සභාවේ මන්ත‍්‍රීවරුන්ට රු. හයලක්ෂ පනස්දාහක් වටිනා පුටු ජපානයෙන් ගෙන්වීමට යන බව සැලවීමත් සමඟ දේශපාලකයන් පිළිබඳ ජනතා අප‍්‍රසාදය සියදහස් ගුණයකින් ඉහළ ගිය බව පෙන්වන හොඳ හොඳ කතා අසන්නට ලැබේ. බස්නාහිර මහඇමතිවරයා නම් පවසන්නේ පුටුවක් රුපියල් හයලක්ෂ පනස්දහසක් වටිනා කතාව බොරුවක් බවය. ඔහු දිවුරා පවසන්නේ, එක් පුටුවක මිල රු. හයලක්ෂ හතළිස්දාහක් පමණක් බවයි. අපේ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ට සපයා තිබෙන කල් පවතින වටිනා මේස පුටු පරිද්දෙන් කල් පවතින මේස පුටු පළාත් සභා මන්ත‍්‍රීන්ටත් ලබා දෙන බවටත් එක එකාට අවශ්‍ය ආකාරයට එ් කටයුතු සිදු නොකරන බවටත් බස්නාහිර මහ ඇමතිවරයා මාධ්‍ය හමුවේ කැට පෙන්වා තිබුණි. අපගේ දැනුමට අනුව අපේ පාර්ලිමේන්තුවට ජපන් පුටු මේස ලැබුණේ පාර්ලිමේන්තුව ජපන් ආධාර යටතේ ඉදිකරන ලද්දක් නිසාය. ජීවන වියදම ඉහටත් උඩින් අඩි සිය ගණනක් ඉහළ ගොස් යහපාලන සරුංගලය කූරියා ගසා බිම දපා ඇති මෙවන් සමයක ජනතාවට මෙලෝ සේවයක් නොකරන පළාත් සභා මන්ත‍්‍රීවරුන්ගේ පස්සට සැප දෙන්නට මේ තරම් දැවැන්ත මුදලක් වැය කළ යුතුද යන්න බරපතළ ප‍්‍රශ්නයකි. ගඩොල් බාග, වතුර බෝතල්, මේස පුටු ආදියෙන් ගුටි කෙළ ගැනීම පළාත් පාලන ආයතනවල දැකිය හැකි සාමාන්‍ය දර්ශනයක් නිසා මේ ආකාරයේ ශක්තිමත් කල් පවතින පුටු බස්නාහිර පළාත් සභාවට අවශ්‍ය යැයි මහඇමතිවරයා ඇතුළු පිරිස කල්පනා කළා විය හැකිය. එහෙත් එවැනි ඔලමොට්ටල දේශපාලකයන් දිගින් දිගටම බලයට පත්කර ගැනීමෙන් වැළකී සිටීමේ අවශ්‍යතාව ජනතාව අවබෝධ කරගනිමන් සිටින බැවින් මහඇමතිවරයා ඇතුළු පිරිස ගෙන ඇත්තේ කාලෝචිත තීරණයක් නොවේ. දේශපාලකයන්ගේ අධි මිල පුටු සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමු වූ තවත් සිදුවීමක් මේ අවස්ථාවේ සිහියට නැගේ. එය සිදුවූයේ 2015 වසරේ කෙන්යාවේය. කෙන්යා ජනතාව දුගීකමේ පතුළ කාල්ගාමින් සිටින අතරතුර කෙන්යාවේ පාර්ලිමේන්තුව ඩිජිටල්කරණයට ලක්කිරීමේ ක‍්‍රියාවලියේ එක් අංගයක් ලෙස මන්ත‍්‍රීවරුන්ට මිල අධික පුටු සැපයීමට මන්ත‍්‍රීවරුම තීරණය කළෝය. ටෙන්ඩර් කැඳවා එකක් ඇමරිකන් ඩොලර් 5000ක් වටිනා පුටු විදේශයකින් ගෙන්වීමට ගෙන තිබූ තීරණය අවලංගු කර කෙන්යාවේ සිරකරුවන්ගේ ශ‍්‍රමය යොදා පුටු නිපදවිණි. රතු පැහැයෙන් නිමවන ලද, කිලෝ ග‍්‍රෑම් 50ක් බර, වසර 30ක වගකීමේ සහතිකයක් සහිත එක් පුටුවක මිල ඇ.ඩො. 3000ක් විය. පුටුු තොගය ‘මැතිගත’ කරන ලද්දේ ජනාධිපති ම්වායි කිබාකි විසිනි. එය එ් වන විට පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලද මිල අධිකම පුටුව බවට වාර්තා විණි. එ් සැප පුටුවල අසුන්ගත් කෙන්යා මන්ත‍්‍රීවරුන් ලෝකයට දුන් ආතල් ගැන වෙනම ලිවිය යුතුය. බස්නාහිර මහ ඇමති කැට පෙන්වා කළ ප‍්‍රකාශයට අනුව පළාත් මන්ත‍්‍රීන්ට මේ අලූත් පුටු ලබාදීම ස්ථිරය. එ් නිසා විවිධ ලෝක වාර්තා තබා ප‍්‍රසිද්ධ ලංකාවට දැන් තවත් වාර්තාවක් පිහිටුවිය හැකිය. අපේ පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට සැපයීමට නියමිත පුටුවක මිල මාධ්‍ය පවසන පරිදි රු. 650000ක් වුවත් මහඇමතිවරයා පවසන පරිදි රු.64000ක් වුවත් අනිවාර්යයෙන්ම ඇ.ඩො. 4000 ඉක්මවයි. එදා කෙන්යා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සැපයූ එ් වන විට පොදු රාජ්‍ය මණ්ඩලයේ මිල අධිකම පාර්ලිමේන්තු මන්ත‍්‍රී පුටුවක මිල ඇ.ඩො. 3000ක් බව ඉහත සඳහන් කෙරිණි. මෙදා ලංකාවේ පුටු සපයන්නේ පාර්ලිමේන්තුවට නොව පළාත් සභාවකට නිසා එය කාලයකට බිඳිය නොහැකි ලෝක වාර්තාවක් වන බව නම් ස්ථිරය. කවරදාක හරි වාර්තාක බිදොත් එ් අපේ යහපාලන පළාත් සභාවකින් බවත් කැට තබා කිය හැකිය.
 

More News..