brand logo

බස්නාහිර ජනතාව වෙනත් ප්‍රදේශ වලට සංචරණයවීම වළක්වාලීමට ජනපතිගෙන් උපදෙස්

11 November 2020

වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන බස්නාහිර පළාතේ සිට සිදුකරන සංචරණ වැළැක්වීමට පියවර ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. එමෙන්ම හුදකලා කර ඇති ප්‍රදේශවලින් ඉවතට පැමිණීමට හෝ ඊට ඇතුළුවීමට කිසිවෙකුට ඉඩ නොතබන්නැයි ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් කාර්ය සාධක බලකාය අද (11) පෙරවරුවේ රැස් වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මේ අතර බෝ නොවන රෝගවලින් පෙලෙන්නන් කොවිඩ් ආසාදනයෙන් බේරා ගැනීම සඳහා විශේෂ අවධානය යොමු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි. සෙසු රටවලින් මෙන්ම මෙරටින්ද වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් 93% කට හේතුව බෝ නොවන රෝග වැළඳුණු අයට වෛරසය ආසාදනය වීම බව වෛද්‍යවරු පෙන්වා දෙති. හෘද, දියවැඩියා, වකුගඩු සහ පිළිකා ආශ්‍රිත රෝගීහූ ඉතා වේගයෙන් කොවිඩ් ආසාදනයට ලක් වෙති. බොහෝ දෙනෙකු රෝග ලක්ෂණ නොපෙන්වා මරණයට පත්ව ඇත. පසුව කළ PCR පරීක්ෂණවලදී ඔවුන් කොවිඩ් අසාදිතයන් බවට තහවුරු වී තිබේ. මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කොට බෝ නොවන රෝගවලින් පෙළෙන්නන් ආරක්ෂා කර ගැනීමට සහ කොවිඩ් ආසාදනයෙන් වැළකී සිටීමට අදාළ උපදෙස්දීම හා දැනුවත් කිරීම් වහාම සිදු කරන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දෙයි. මේ අතර හෘද, දියවැඩියා, වකුගඩු සහ පිළිකා ආශ්‍රිත රෝගීන් ඉතා වේගයෙන් කොවිඩ් ආසාදනයට ලක්වෙන බවත් බොහෝ දෙනෙකු රෝග ලක්ෂණ නොපෙන්වා මරණයට පත්ව ඇති බවත් පසුව කළ PCR පරීක්ෂණවලදී ඔවුන් කොවිඩ් අසාදිතයන් බවට තහවුරු වී ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. මේ පිළිබඳව විශේෂ අවධානය යොමුකර බෝනොවන රෝගවලින් පෙළෙන්නන් ආරක්ෂා කරගැනීමට සහ කොවිඩ් ආසාදනයෙන් වැළකීසිටීමට අදාළ උපදෙස්දීම හා දැනුවත්කිරීම් වහාම සිදුකරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දෙයි. ප්‍රධාන රෝහල් වෙත පැමිණීමට ජනතාවට ඇති දුෂ්කරතා හඳුනාගෙන කලක් රට පුරා සාර්ථකව ක්‍රියාත්මක වූ ප්‍රාදේශීය බෙහෙත් ශාලා (ඩිස්පෙන්සරි) කඩිනමින් පූර්ණ සක්‍රීයත්වයට පත් කළයුතු යැයි ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ඒවාට අවශ්‍ය වෛද්‍ය, හෙද, වින්නඹු සහ සෙසු කාර්ය මණ්ඩලය කඩිනමින් අනුයුක්ත කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. හුදකලා කර ඇති ප්‍රදේශ වෙත භාණ්ඩ බෙදාහැරීමට සම්බන්ධ වන පාර්ශ්ව නිවැරදි ක්‍රමවේද අනුගමනය කරන්නේ ද යන්න අඛණ්ඩව නිරීක්ෂණය කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. එමෙන්ම බන්ධනාගාරය ආශ්‍රිත තත්ත්වය සහ ව්‍යාප්තිය වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ද මෙහිදී විමසුමට ලක්ව තිබේ.
 

More News..