brand logo

බලන් තලංගම තෙත් බිම් රූ සිරි!

22 September 2019

රජ බිසෝවරුන් කොහොමත් රුවැත්තියන් ය. අන්තඃපුර ස්ත්‍රීහු ද එසේ ය. ඔවුහු රජ ගෙයි ඇතුළු මාලිගාවල වාසය කරති. අදින් වසර 600කට පමණ පෙරාතුව පැවති කෝට්ටේ රාජධානි සමය ප්‍රකටව ඇත්තේ බාහිර සහ අභ්‍යන්තර වියවුල්වලින් පිරුණු වකවානුවක් වශයෙනි. එහෙත් කෝට්ටේ විසූ රජවරු, සිය බිසෝවරුන්ගේ ද, අන්තඃපුර ස්ත්‍රීන්ගේ ද රූප සම්පත්තිය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ බව ජන ප්‍රවාදවල සඳහන් වෙයි. එකල ඔවුන්ට ‘බත’ සලසා ඇත්තේ එක්කෝ ‘මුතු සම්බා’ සහලෙනි. නැතිනම්, ‘මුතු මාණික්කන්’ සහලෙනි. රජුන් ඇතුළු මහ වාසල රාජකීයයන් මෙන්ම, ප්‍රභූවරුන් ද වැළඳුවේ ‘මුතු සම්බා’ සහලේ බත ය. ජන ප්‍රවාදවල කියැවෙන හැටියට, එකල මුතු සම්බා සහල් නිපැයුණේ ‘මුතුරාජවෙල’ පැසුණු කුඹුරුවල ය. මුතු මාණික්කන් සහල් නිපැයුණේ කෝට්ටේ රජ වාසලට සමීප සරුසාර වෙල් යායවල ය. කෝට්ටේ රජුන්ගේ යුද සෙබළුන් අනුභව කළේ ‘හීනැටි සහලේ’ බත බව ද කියැවේ. එකල රජවාසලට සමීප කුඹුරු ද, ඒවාට දිය රැස්කර දුන් වැව් සහ ජලාශ ද, කුඩා පරිමාණයේ ඔය (හොය) දහරා ද තිබිණි. සුප්‍රකට ‘දියවන්නා ඔය’ ද ඉන් එකකි. මේ සටහන අකුරු කරන්නේ, කෝට්ටේ විසූ රජවරුන් ඔවුන්ගේ සිත්ගත් රුවැත්තියන්ගේ කෝමල රේඛා නඩත්තු කරන්නට උනන්දු විණැයි ජන වහරේ එන තොරතුරු පළ කරන්නට නොවේ. වී ගොවිතැන ද ඇතුළුව ඔවුන්ගේ රාජකීය භාවිතාවන්ට දියවර සැපයුණු ‘තලංගම වැව’ ගැන අලුත් කරුණු ටිකක් දිග හරින්නට ය. ඒවා, අලුත් කොළඹට පාරිසරික වින්දනයක් ගෙන එනු ඇත්තේ ය. තලංගම වැව පිහිටා ඇත්තේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ය. එය අපට හමුවන්නේ වර්තමානයෙහි ප්‍රත්‍යන්ත නුවරුන් කොළොම්පුරයට වැදෙන කොට්ටාවේ සිට තලවතුගොඩ සහ බත්තරමුල්ල ඔස්සේ බොරැල්ලට වැටෙන අංක 174 බස් මාර්ගය ආශ්‍රිතව ය. වැව සහ පරිවාරයේ ජලාශ්‍රිත පරිසර පද්ධතිය, වර්තමානයේ තලංගම උතුර, මුත්තේගොඩ, තලංගම දකුණ, බටපොත සහ කුමාරගේ වත්ත යන ග්‍රාම නිලධාරී වසම්වලට අයත් වෙයි. යාල, උඩවලවේ, සිංහරාජය, නකල්ස් සහ හෝර්ටන්තැන්න ආදී ප්‍රදේශ තරම් ප්‍රසිද්ධියක් නො ඉසිලුව ද, තලංගම වැව සහ පරිවාරයේ ජලාශ්‍රිත භූමිභාග ‘පාරිසරික සංචාරයන්’ ප්‍රිය කරන උදවිය අතර බෙහෙවින් ජනප්‍රිය ය. අතිශයින් ම ජනාකීර්ණ කොළොම් තොටට අත පොවන තරම් දුරින් පිහිටි තලංගම ඉසව්ව, සුන්දර භූමි දර්ශන මෙන් ම, සතා සීපාවා සහ ගහකොළ ඇතුළු ජෛව විවිධත්වයෙන් ද පොහොනේ ය. එය පක්ෂීන් නරඹන්නන් අතර ද බොහොම ජනප්‍රිය සංචරණ ඉසව්වකි. පැරණි ව්‍යවහාරයේ හැටියට තලංගම වූ කලී ‘තඩාග ග්‍රාම’ යන්නයි. ඒ අවට ඇති ‘හීනැටිකුඹුර’, ‘තලවතුගොඩ’ සහ ‘මහනියර’ ආදී ග්‍රාම නාමයන්, අතීතයේ එහි පැවති කෘෂිකාර්මික ජීවිතය ගැන කටු සටහනක් වර්තමානයට ද ශේෂ කරවයි. තලංගම ප්‍රදේශයේ අදටත් දකින්නට තිබෙන එක්තරා වෙල් යායක් හඳුන්වන නාමය ‘මුත්තෙට්ටුව කුඹුර’ ය. එහි වපසරිය අක්කර හයක් පමණ වේ. ජන ප්‍රවාදවල කියැවෙන හැටියට, කෝට්ටේ රජවාසලට ‘බත’ සැපයුණේ එයින් අස්වැද්දුණු වී සම්පතිනි. කෝට්ටේ රජ වාසල ‘ඇත් පන්තියට’ (අලි ඇතුන්) දිය කෙළි සැලැස්වූහයි කියන්නේ ද තලංගම වැවෙනි. පැරණි කතා පුවත්වල එන හැටියට, තලංගම වැව ඉදිකර ඇත්තේ කෝට්ටේ රජ කළ හය වැනි පරාක්‍රමබාහු රජ්ජුරුවෝ (ක්‍රි. ව. 1547-1551) ය. ප්‍රදේශයේ පැරැන්නන් පවසන අන්දමට, කෝට්ටේ රාජධානි කාලයේ පැවති ‘තලංගම වැව’ විශාල එකකි. එහි ජල පෝෂක ප්‍රදේශය එකල වර්ග සැතපුම් තිස් තුනක පමණ භූමියක් පුරාවට පැතිර තිබුණි. එයින් වැඩි හරියක් කුඹුරු ය. වැව සහ ජල පෝෂක ප්‍රදේශයට වර්ෂාව ලැබෙන්නේ නිරිත දිග මෝසම් කාලය ඔස්සේ ය. වැව ආශ්‍රිත කලාපයේ වාර්ෂික වැසිපතනය මිලි මීටර් 2000-2500ක් පමණ වෙතැයි, මධ්‍යම පරිසර අධිකාරිය කියයි. එකල මුළු තලංගම ප්‍රදේශයට ම, දියවර සැපයුණේ තලංගම වැවෙනි. එසේම, ප්‍රදේශයේ ගංවතුර පාලනය සඳහා ද එයින් සිදු වුයේ අනගි මෙහෙවරකි. එහෙත් පසුකාලීනව වැවෙහි නඩත්තුව අභාවයට ගියේ ය. එබැවින් වැව ක්‍රමයෙන් ගොඩ විය. කෙසේ වෙතත් මෑත ඉතිහාසයේ තලංගම වැව, අක්කර 44ක පමණ භූමි වපසරියකින් සමන්විතව තිබිණි. පසුව වැවෙහි වපසරිය තවත් අඩුවී ගිය අතර, 1990 දශකය මුල් භාගයේ දී එය ප්‍රතිසංස්කරණය කෙරිණි. දැන් වැවට ඉතිරිව ඇත්තේ අක්කර 37ක පමණ කොටසක් පමණි. මධ්‍යම පරිසර අධිකාරිය පවසන ආකාරයට, වැවෙහි වර්තමාන ජල ධාරිතාව අක්කර අඩි පනහකි. එහි රැඳෙන දියවරින් ගොවිතැන් කෙරෙන භූමිභාග පිහිටා තිබෙන්නේ, අකුරේගොඩ සහ උතුරු තලංගම අතර ය. එයින් අක්කර 250ක් පමණ වී වගා කෙරෙන කුඹුරු ය. ‘පීපල් ටු පීපල් වොලන්ටියර්ස්’ යනු, ජගත් පාරිසරික පහසුකම් ව්‍යාපෘතියේ මගපෙන්වීම මත, මධ්‍යම පරිසර අධිකාරියේ ද අනුග්‍රහය ඇතිව, තලංගම වැව ආශ්‍රිත භූමි සහ ජලජ පරිසර පද්ධතිය සංරක්ෂණය කිරීම පිණිස ඉදිරිපත්ව සිටින රාජ්‍ය නො වන පාරිසරික සංවිධානයකි. ඔවුන් සඳහන් කරන අන්දමට, මේ ඉසව්ව ‘තෙත් බිම් පරිසර පද්ධතියකි’. එහි දී හමුවන පක්ෂි විශේෂ සංඛ්‍යාව 207කි. ඉන් ලංකාවට ආවේණික විශේෂ ගණන 23කි. සංක්‍රමණික විශේෂ සංඛ්‍යාව 95කි. පක්ෂීන්ට අමතරව, ක්ෂීරපායී සත්ත්ව විශේෂ 24ක් ද, මිරිදිය මත්ස්‍ය විශේෂ 35ක් ද, සමනල විශේෂ 64ක් ද, බත්කූරු විශේෂ 37ක් ද, උරග විශේෂ 23ක් ද එයින් හමු වේ. උන්ට අමතරව, උභය ජීවී සහ සර්ප විශේෂ ද එහි වෙසෙති. වැව ආශ්‍රිත ප්‍රදේශයේ ශාක ප්‍රජාව තුළ තෙත් කලාපීය මෙන්ම, ජලජ පරිසරයේ වැවෙන ශාක වර්ග ගණනාවක් ද දක්නට ලැබේ. ඒවා අතර, කොරකහ, හල්, දිවිකදුරු, ගොරක, මයිල, මී, කුඹුක් සහ වල්ලපට්ටා ආදී ශාක වර්ග කැපී පෙනෙයි. කොළඹ නගරය සමීපයේ, අතිශය ජනාකීර්ණ නාගරික ප්‍රදේශයක් තුළ පවතින මේ ජෛව විවිධත්වය සුවිශේෂ ය. තලංගම වැව ආශ්‍රිත පරිසර පද්ධතිය පක්ෂීන් සහ සෙසු සතුන් අධ්‍යනය කිරීම සදහා අගනා ප්‍රදේශයක් බව පරිසරවේදීන්ගේ අවධානයට ලක් වන්නේ 1988 වර්ෂයේ පමණ ය. ‘ඒ කාලේ මමයි, වෛද්‍ය රුවන් පෙරේරා මහත්තයයි පක්ෂීන් නිරීක්ෂණය කරන්න ඔය ප්‍රදේශයට එනවා. එතකොට මෙතැන හොඳ ජෛව විවිධත්වයක් තියෙනවා කියලා අපි අත්දකිනවා. ඊට පස්සේ තමයි හුඟක් දෙනෙක් මෙහේ එන්න පටන් ගත්තේ’, එසේ කියන්නේ පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මහතා ය. ඔහු පවසන අන්දමට, තලංගම තෙත් බිම් පද්ධතිය ඉතා දුර්ලභ සංක්‍රමණික පක්ෂීන්ගේ වාස භූමියකි. ‘බෙල්ලන් කොකා’ වැනි නේවාසික පක්ෂීන්ගේ අභිජනන තිප්පොළකි. ‘එක සැරයක් අපට තලංගම දී දුර්ලභ වැහි ලිහිණි විශේෂයක් හමුවුණා. උන් වසර තිහකින් විතර ලංකාවට ආවා කියලා වාර්තා වෙලා තිබුණේ නෑ. ‘දම් සිලුටු දෑතුඩුවා’ සහ ‘මල් සේරුවා’ වගේ තෙත් බිම් ආශ්‍රිතව වාසය කරන පක්ෂීන් තලංගම දී දකින්න පුළුවන්’, ඔහු පවසයි. තලංගම තෙත් බිම් පරිසර පද්ධතියෙහි ඇති වැදගත්කම නිසා ම, මධ්‍යම පරිසර අධිකාරිය 2007 වසරේ දී එය ‘පාරිසරික ආරක්ෂක ප්‍රදේශයක්’ බවට ප්‍රකාශයට පත් කළේ ය. එයට වැව සහ ඒ ආශ්‍රිතව පිහිටි හෙක්ටයාර් 118ක භූමියක් අයත් වන බව, 2007 මාර්තු මස 05 වැනි දා නිකුත් කෙරුණු ගැසට් නිවේදනයේ සඳහන් විණි. ‘පීපල් ටු පීපල් වොලන්ටියර්ස්’ සංවිධානයේ අනුරාධ ප්‍රභාත් කුමාර මහතා පවසන අන්දමට, කොළඹ නගරය ආශ්‍රිතව පිහිටි තෙත් බිම් අතරින් සංක්‍රමණික පක්ෂීන් වැඩියෙන් ම දැකිය හැක්කේ තලංගම දී ය. වර්තමානයේ තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය, සමනල අධ්‍යයන කවය සහ ප්‍රකට පරිසරවේදීන් රැසක් එහි පැමිණ ගවේෂණ කිරීමට පුරුදුව සිටිති. කොළඹ නගරය පරිවාරයේ පිහිටි ‘තලංගම තෙත් බිම් පරිසර පද්ධතිය’ පාරිසරික සංචරණ කලාපයක් වශයෙන් තවදුරටත් සංවර්ධනය කළ යුතු භූමි භාගයකි. පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මහතා ඒ ගැන කියන්නේ මෙසේ ය. ‘මෙතැන බොහොම ඉහළ ජෛව විවිධත්වයක් තියෙනවා. ඒවා ගැන මීට ඉහතත් අධ්‍යයන කෙරුණා. දැනුත් කෙරෙනවා. ඒවා තව ඉදිරියටත් ගෙන යා යුතුයි. තලංගම වැව කියන්නේ ජල බස්නාවක් ලෙස වැදගත් මෙහෙවරක් කෙරෙන තැනක්. ඒත් ඒකට බාධා වෙන කාරණා තියෙනවා. මේ ඉසව්වෙන් අධිවේගී මාර්ගයක් සැලසුම් කෙරිලා තියෙනවා. එයින් බලපෑම් ඇති වේවි. ඒ අතර, වැව ගොඩ වෙමින් යනවා. ගංවතුර පාලනයට කියලා 1992 දි විතර වැවේ ‘ස්පිල් එක’ (පිටවාන) පහත් කළා. එයින් වැවේ ධාරිතාවය අඩු වුණා. ඒක නැවත යථා තත්ත්වයට පත් කළ යුතුයි. මොන දේ කරන්නත් කලින්, වැව වටේ තිබෙන පරිසර පද්ධති ‘ප්‍රතිස්ථාපනය කරන්න ඕනෑ. ඒ වගේම, ආගන්තුක සහ ආක්‍රමණශීලී ශාක ගහනය ඉවත් කළ යුතුයි’ පරිසරවේදී අනුරාධ ප්‍රභාත් කුමාර මහතා පෙන්වා දෙන අන්දමට, තලංගම වැව ආශ්‍රිත තෙත් බිම් පරිසරය සංරක්ෂණය කිරීමේ දී එහි නිවැසි සත්ත්ව සහ ශාක ප්‍රජාවට ද, අලංකාර භූ දර්ශනවලට ද හානි වීම් වළකා ගත යුතු ය. තෙවනුව, සංචරණයට පහසුකම් සහ මංපෙත් සැකසිය යුතු ය. එහි එන අයට මේ තෙත් බිම ගැන දැන ගැනීමට, නැරඹුම් ස්ථානයක් සහ තොරතුරු මධ්‍යස්ථානයක් ආරම්භ කළ යුතු ය. එහෙත් එවැනි කටයුතු නො කෙරෙන බව ද අනුරාධ ප්‍රභාත් කුමාර මහතා සඳහන් කරන්නේ ය. පරිසරවේදීන් පෙන්වා දෙන අන්දමට, තලංගම ආශ්‍රිත ජලජ පරිසර පද්ධතියට එල්ලවී ඇති තර්ජන බොහොමයකි. කුඹුරු ඉඩම් ගොඩ කිරීම නිසා සුළු වැස්සකින් පවා ගංවතුර ඇති වීම, අනවසර යාන්ත්‍රික බෝට්ටු ධාවනය නිසා ජලචර පක්ෂීන්ගේ සහ අනෙකුත් සතුන්ගේ හැසිරීම්වලට බාධා එල්ල වීම මෙන්ම, උන්ගේ අභිජනන මධ්‍යස්ථාන විනාශ වීම, නිවාස ව්‍යාපෘති සහ මහා මාර්ග තැනීම වැනි යටිතල ව්‍යාපෘති නිසා වැවට සහ වැව අවට පරිසරයට බලපෑම් එල්ල වීම, කැළි කසළ මෙන්ම අපද්‍රව්‍ය වැවට බැහැර කිරීම සහ තෙත් බිම් පරිසරයේ ඇති බිම් පෙදෙස් අනවසර පදිංචිකරුවන්ගේ ග්‍රහණයට නතු වීම සහ ආක්‍රමණික හා ආගන්තුක ශාක පැතිරීම, ආදී කාරණා ඒ අතර වේ. තලංගම තෙත් බිම සංරක්ෂණය කිරීමේ දී මේ ගැටලු සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතු බව ඔවුන්ගේ අදහසයි. ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ සුරන්ජන් කොඩිතුවක්කු මහතා කියන හැටියට, බේරේ වැව, දියවන්නාව, බොරලැස්ගමුව ඇතුළු කොළඹ ආශ්‍රිත තෙත් බිම් මුහුණ දෙන පොදු ප්‍රශ්නයක් තිබේ. ඒ, ‘ජල දූෂණයයි’. කර්මාන්ත ශාලා සහ ජනාවාස අපද්‍රව්‍ය ඒවාට එකතුවීම නිසා එය සිදු වේ. මින් කර්මාන්ත අපද්‍රව්‍යවල ආසනික් සහ ඊයම් ඇතුළු බැර ලෝහ ද අඩංගු ය. තලංගම වැව ආශ්‍රිත පරිසර පද්ධතිය ද වර්තමානයේ ජල දූෂණයෙන් පීඩා විඳින්නේ ය. වැව ආශ්‍රිතව වෙසෙන උදවිය එහි දියවරින් වී ගොවිතැන් කරති. ගව සහ එළු ආදී සත්ත්ව පාලනයේ යෙදෙති. පලා වර්ග සහ එළවළු ආදී වශයෙන් කොරටු ගොවිතැනෙහි යෙදෙති. දිය නෑම පිණිස ද වැව් දිය පාවිච්චි කරති. මේ තත්ත්වය නිසා වැව ආශ්‍රිත ජන ජීවිතයට බැර ලෝහ ඇතුළු වීමේ අවදානම වැඩි ය. ‘ඒවා අඩු කරන්න ක්‍රියාමාර්ගයක් ගන්න ඕනෑ’, සුරන්ජන් කොඩිතුවක්කු මහතා කියන්නේ ය. පරිසරවේදීන් කියන හැටියට තලංගම තෙත් බිම් පද්ධතිය, කොළොම් තොට පරිසරයේ නිවැසි ‘කොක්කුන්ගේ’ විශාලත ම ලැගුම්පොළවලින් එකකි. හැන්දෑ ජාමයට උන් එහි ගාල් වෙනු දකින කෙනෙකුට, උන්ගේ කලිකලහය අසන කෙනෙකුට කොළොම් පුර මායිමේ එවන් තැනක් තිබේදැයි පුදුම සිතෙනු නිසැක ය! ක්‍රිෂ්ණ විජේබණ්ඩාර
 

More News..