brand logo

බයිඩ්න්ගේ බලු සුරතල්

06 December 2020

ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස පත්වීමට නියමිත ජෝ බයිඩ්න් හා ඔහුගේ බිරිඳ බලු සුරතලුන්ට ප්‍රියකරන දෙදෙනෙකි. විවේක කාලයේ බල්ලන් හා සෙල්ලම් කිරීම ඔවුන්ගේ විනෝදාංශයයි. ඒ අනුව බයිඩ්න් සිය සුරතලුන් දෙදෙනාගෙන් එකකු වන මේජර් සමග කෙළිදෙලෙන් සිටියදී පය ලිස්සා ගොස් බිම ඇදවැටී තිබේ. ඉන් බයිඩ්න්ගේ පාදයේ අස්ථියක් බිඳී ගියේය.
ජනාධිපතිවරයාගේ පාදයේ වළලුකර ඇඹරීමකට ලක්ව ඇතැයි ඔහු පරීක්ෂා කළ ​වෛද්‍යවරු ප්‍රකාශ කළේය. චෙලවෙයාර්හි නෙවාර්ක් ප්‍රදේශයේ අස්ථි ​ශෛල්‍ය වෛද්‍යවරයකු හමු වූ බයිඩ්න් ඔහුගෙන් ප්‍රතිකාර ලබාගෙන ඇත. අනතුරුව සිදු කරන ලද ස්කෑන් පරීක්ෂාවට අනුව ඔහුගේ දකුණු පාදයේ අස්ථි දෙකක් ආශ්‍රිතව කුඩා ප්‍රමාණයේ බිඳීමක් සිදුවී ඇතැයි වෛද්‍ය නිගමනය විය. මේ අනුව සති කිහිපයක කාලයක් බයිඩ්න්ට බූට් සපත්තු පැලඳ සිටීමට සිදුවනු ඇති බව වෛද්‍ය මතයයි. ඒ අස්ථිවල භග්න තවදුරටත් පැතිරී යාම වළක්වා ගැනීම සඳහාය. වයසට යාමත් සමග අස්ථි බිඳීමේ අවස්ථා සුලභය. මේ වනවිට 78 වැනි වියේ පසුවන ඔහු සිය නිල රාජකාරී ආරම්භ කරන්නේ ලබන ජනවාරියේදීය. ඒ වනවිට ඔහු ඇමරිකාවේ ජනාධිපති පදවියට පත් වූ වයස්ගතම පුද්ගලයා ලෙසද වාර්තාවක් තබනු ඇත. බයිඩ්න්ගේ ඡන්ද ව්‍යාපාරය අතරතුර මෙය විපක්ෂ කණ්ඩායම් විසින් විවේචනය කළ අතර ඔහු ඒවා ප්‍රතික්ෂේප කළේ සේවය කිරීම සඳහා වයස ප්‍රශ්නයක් නොවන බව පවසමිනි. මේජර් සමග සෙල්ලම් කරන්නට ගොස් පාදය බිඳුණු බයිඩ්න්ට මේ වනවිට බලු සුරතලුන් දෙදෙනෙක් ඇත. 2008 වසරේ මැතිවරණය අවසන් වූ පසු ඔවුන්ගෙන් පළමු සුනඛයා වන ‘චෑම්ප්’ නිවසට රැගෙන ආවේය. බයිඩ්න් සමග එක ගොඩේ ලෙස්සා වැටුණු ‘මේජර්’ව රැගෙන ආවේ 2018 වසරේදීය. ඔවුන් දෙදෙනාද ධවල මන්දිරයට රැගෙන යාම ජෝ හා ජිල් යුවළගේ අපේක්ෂාවය. එසේම මේ සුරතලුන් සමග බළලකුද ජනාධිපති මැදුරට ගෙන යාමට ඔවුන් අදහස් කර තිබේ. බයිඩ්න්ගේ සෞඛ්‍ය තත්ත්වය හා වයස පිළිබඳව මැතිවරණ සමයේ චෝදනා එල්ල වූයේ සිය රුධිර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර ගැනීම සඳහා බයිඩ්න් ස්ටැටින් පෙති පාවිච්චි කරන බව පවසමිනි. ‘‘සිය රාජකාරි කටයුතු නියමාකාරයෙන් ඉටු කිරීමට හැකි යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඔහුට තිබෙනවා.’’ පසුව බයිඩ්න්ගේ වෛද්‍යවරු ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පැහැදිලි කරමින් ප්‍රකාශ කර තිබේ. මෙම බලු සුරතලුන් දෙදෙනා සමග දුවපැන ඇවිදිමින් කරන ක්‍රියාකාරකම් නිසා ශාරීරිකවත්, මානසිකවත් බයිඩ්න්ට සෞඛ්‍ය ප්‍රතිලාභ කිහිපයක් ලැබිණ. ඔවුන්ගේ මෙම සුනඛයන් දෙදෙනාම ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සතුන්ය. ජනවාරි 20 වනදා ඔවුන්ද ධවල මන්දිරයේ වාසය සඳහා යනු ඇත. ‘‘අපගේ සුරතලුන් අතරට බළලකුද එකතු කර ගැනීමේ අදහසක් තිබෙනවා. මහජනයාගේ මැදුර‘ නැවතත් සුරතලුන්ගේ මැදුරක් බවට පත්කළ යුතුයි’’ බයිඩ්න් ප්‍රකාශ කළේය. එය සුරතල් සතුන් ඇති නොකළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල කරන ලද උපහාසයක් විය හැකිය. පසුගිය සැප්තම්බරයේ නිවේදකයකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ජනාධිපති ආර්යාවද බළල් සුරතලකු පිළිබඳව ඉඟි කර තිබිණි. නිවේදකයා අසා තිබුණේ ඇගේ ස්වාමි පුරුෂයා ජයග්‍රහණය කළහොත් ඇයට යම් කිසිවක් ත්‍යාග කරන බවට පොරෙන්දු වී ඇත්ද යන්නයි. ‘‘මං ආසයි බළලෙක් ඇති කරන්න. නිවස පුරාම සුරතලුන් ගැවසෙනවාට මං ආසයි’’ ඇය කියා තිබිණි. පසුගිය කාලයේදී ධවල මන්දිරයේ සිටි ජනප්‍රියම බළලා වූයේ ‘සොක්ස්‘ය. සොක්ස් 1993 සිට 2001 දක්වා හිටපු ජනාධිපති බිල් හා හිලරි ක්ලින්ටන් යුවළ සමග වාසය කළේය. මේ ජනප්‍රියත්වයත් සමග බොහෝදෙනා අතර කටකතාවක් පැතිර ගියේ ධවල මන්දිරයේ බළලුන් සඳහා මහජන මුදල් භාවිත කරන බවටය. ක්ලින්ටන්ගෙන් පසු ජනාධිපති පදවියට පත් ජෝර්ජ් බුෂ් සතුව සුනඛයන් තිදෙනෙකු හා ‘ඉන්දියා’ නම් බළලකු සිටියේය. බැරැක් ඔබාමාගේ සුරතලුන් වූයේ ‘බෝ’ හා ‘සනී’ නමැති පෘතුගීසි දිය බල්ලන් ජෝඩුවකි. 1849දී ඇමරිකන් ජනාධිපති වූ ජේම්ස් පෝක්ගෙන් පසු කිසිදු සුරතල් සතකු නොසිටි ජනාධිපතිවරයා ලෙස සැලකෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ය. මේ පිළිබඳව විමසූ විට ඔහු පිළිතුරු දුන්නේ ඔවුන් සඳහා වෙන් කිරීමට තමාට කාලයක් නැති බවය. ‘‘ධවල මන්දිරයේ තණබිස්සේ බල්ලෙකුත් එක්ක දුවන්න මට වෙලාවක් නැහැ’’ ට්‍රම්ප් පවසා තිබිණි. මේ අතර සත්ව මානසික වෛද්‍යවරියක් වන බෙත් ලී කොව්දර් ප්‍රකාශ කරන්නේ ද මෙම සුරතලුන් දෙදෙනා බයිඩ්න්ගේ ජීවිතයට වැඩි බලපෑමක් එල්ල කළ හැකි බවය. වොෂෙස්ටර්ෂයර්හි පදිංචිකාරියක වන බෙත් ලී තමා සිතින් සිතට සන්නිවේදනය එනම් ටෙලිපති (TELEPATHY) මගින් බයිඩ්න්ගේ සුරතලුන් දෙදෙනා සමග මිත්‍ර වූ බව පවසයි. ඒ ඔවුන්ගේ ඡායාරූප හරහාය. ‘‘ඔවුන් පවසන්නේ සිය ස්වාමියා සන්සුන් පුද්ගලයකු බවය. ඇමරිකාවට යහපත් අනාගතයක් ඔහුගෙන් බලාපොරොත්තු විය හැකි බව ඔවුන් විශ්වාස කරනවා.’’ ඇය පැවසුවේ THIS MORNING නම් රූපවාහිනී වැඩසටහනකට එක්වෙමිනි. මීට පෙර වතාවකදී සුරතල් සතුන් පිළිබඳ තමාගේ ස්ථාවරය බයිඩ්න් විසින් ප්‍රකාශ කරනු ලැබීය. ‘‘සමහර ඇමරිකානුවන් ‘ජාතික බළල් දිනය’ සමරනවා. සමහරු ජාතික සුනඛ දිනය සමරනවා.’’ ඔහු ට්වීටර් පණිවුඩයක් තබමින් පැවසීය. ‘‘නමුත් ජනාධිපති ට්‍රම්ප්ට ඒ කිසිවක් නැහැ. එමගින් අපට සිතන්නට බොහෝ දේ ඉතිරි කර තිබෙනවා. මේ ධවල මන්දිරයට නැවතත් සුරතල් සතුන් රැගෙන ඒමට කාලයයි.’’ 12 හැවිරිදි චෑම්ප් හා 2 හැවිරිදි මේජර් ද ලබන මාසයේ ජනාධිපතිවරයා සමගින් ඇමරිකාවේ පළමු නිවහනට යනු ඇත. බලු සුරතලුන්ගේ හඬ වසර කිහිපයකට පසු නැවතත් ධවල මන්දිරයේ රැව්දෙනු ඇත. වසන්ත විජේරත්න
 

More News..