brand logo

බම්බලපිටියේ රස්තියාදු වන ෆීජි කඟවේනා

14 January 2019

පැසිෆික් සාගරයත්, ඉන්දියානු සාගරයත් තරණය කර උපන් බිමේ සිට ගුවන් දුරින් කිලෝමීටර 11,000ක් ඈතින් පිහිටි කොළඹට පැමිණි ඔහු බම්බලපිටිය පොලිස් පාක් ක්‍රීඩාංගණයේ ප්‍රේක්‍ෂකයන්ගෙන් හිස් වූ පාළු ක්‍රීඩාගාරයේ පුටුවකට බර දී ඔහේ බලා සිටියි. ඒ බැල්මේ අරමුණක් නැත. හෙට කුමන තීරණයක් ලැබේ දැයි ඔහු නොදනී. ඔහුට ලැබුණු පොරොන්දු සිර වී ඇත. බලාපොරොත්තු කඩ වී ඇත. මෙයට සති කිහිපයකට ප්‍රථම මෙරට රග්බි පිටියේ ප්‍රතිවාදීන් දෙපසට විසි කරමින් කඟවේනකු මෙන් දිවගිය මේ ‘කළු කොලුවා’ දැන් තරග නරඹන්නෙක් පමණි. මෙවර රග්බි ලීග් තරගාවලියේදී කණ්ඩායමකට විදේශ ක්‍රීඩකයකු ඇතුළත් කිරීමට ලැබුණු අවසරයෙනි ඔහු මෙරටට පැමිණියේ. මේ, පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කිරීමට එසේ පැමිණි ෆීජි ක්‍රීඩක එමොසි වුනිවෝසාය. එහෙත් තරග දෙකක් පමණක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව අධිකරණයේ නියෝගයට හිස පහත් කළ ඔහු ආගන්තුක නුවරක ‘නිකමෙක්’ බවට පත්ව සිටියි. ඔහු 22 හැවිරිදිය. ඔහු එරට ගිණුම්කරණය හැදෑරූ සිසුවෙකි. දෙවරක් සත් සමාජික ලෝක ශූරතාවටද උරුමකම් කියමින් රග්බි ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරයේ කැපී පෙනෙන දස්කම් දැක්වන ෆීජි රාජ්‍යයේ පළමු කාණ්ඩය හෙවත් ‘ඒ’ කාණ්ඩයේ ක්‍රීඩකයෙකි. සිය අධ්‍යයන කටයුතු නවතා දමා ඔහු මෙහි එන්නේ මෙම තරග කොන්ත්‍රාත්තුවෙන් තමන්ට ලැබෙන මුදල ඉතිරිකරගෙන ගොස් සිය අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරීමටය. එනම් ගණකාධිකාරීවරයකු වීමේ සිහිනය සැබෑ කරගන්නටය. අද ඔහු ඒ සිහින සියල්ල ගුලිකර කොට්ටයට යට කරමින් නිදයි. මන්ද මෙම තරගාවලිය සඳහා විදේශ ක්‍රීඩකයන් ක්‍රීඩා කිරීමට එරෙහිව දැමූ නඩුවට අනුව මේ වන විට එමොසි වුනිවෝසා ඇතුළු විදේශීය ක්‍රීඩකයන්ගේ නියෝජනය අධිකරණය විසින් අතුරු තහනමකට ලක්කර තිබේ. ඒ අනුව ක්‍රීඩා කිරීමේ වරම අහිමි වූ ඔහු එම නඩුව පිළිබඳ තීරණයක් එන තුරු මේ අයුරින් ඔහේ බලා සිටියි. ‘මගේ ඥාති සහෝදරයෙක් මීට වසර කිහිපයකට කලින් පොලිස් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කළා. පොලිස් ක්‍රීඩා සමාජයේ කළමනාකාරතුමා එයාට කථා කරලා තිබුණා මේ පාරත් ලංකාවට ඇවිත් ක්‍රීඩා කරන්න. ඒත් එයාට එන්න බැහැ. මොකද එයා ෆීජි ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනවා. ඒ නිසා එයා මගෙන් ඇහුවා ලංකාවට ගිහින් තරග වාරයක් ක්‍රීඩා කරන්න කැමැතිද කියලා. ඉතිං ඒ විදිහට තමයි මම මෙහෙට ආවෙ’ අදාළ එකඟතාවට අනුව ඔහු මෙහි මාස 4ක කාලයක් ක්‍රීඩා කළ යුතුය. ඒ වෙනුවෙන් ඔහුට මසකට ඩොලර් 1500 ක් බැගින් ශ්‍රී ලංකා රග්බි සංගමයෙන් ලැබිය යුතුය. නමුත් ඒ එකඟතාවේ දෙවැනි මාසය ගෙවෙන්නට මත්තෙන් මෙම අධිකරණය නියෝගය ලැබුණු බැවින් එමොසිට ඉනික්බිති ගිවිසගෙන සිටි පරිදි මෙරට රග්බි සංගමයෙන් ගෙවීමක් හිමිව නැත. ‘මම ලංකාවට ආවේ පසුගිය ඔක්තෝබරයේ අවසන් සතියේ. මගෙ ගුවන් ගමන් ගාස්තු ඇතුළු අනෙක් දේවල් මේ රග්බි ආයතනය දරනවා. මට පළවෙනි මාස දෙකේ මගෙ ගෙවීම් ලැබුණා. මට සෙල්ලම් කරන්න ලැබුණේ තරග දෙකයි. පළවෙනි එක නාවික හමුදා පිලත් එක්ක. දෙවැනි එක මහනුවර ක්‍රීඩා සමාජයත් එක්ක. තුන්වැනි තරගයට මම සූදානම් වෙද්දි මට කිව්වා මට ක්‍රීඩා කරන්න අවසරයක් නැහැ, මොකද අධිකරණ නියෝගයකින් විදෙස් ක්‍රීඩකයන් තරගාවලිය ක්‍රීඩා කිරීම අත්හිටුවලා තියෙනවා කියලා. ඊට පස්සෙ මට කණ්ඩායම නියෝජනය කරලා ක්‍රීඩා කරන්න අවස්ථාවක් ආවේ නැහැ. ඉතිං මට ඉතිරි මාසවලට ශ්‍රී ලංකා රග්බි ආයතනයෙන් ගෙවීමක් ලැබෙයිද නැතිද කියලා මම දන්නේ නැහැ. ඒත් බලාගෙන ඉන්නවා. මේ මාසේ 24 අධිකරණයෙන් තීරණයක් එන්න පුළුවන්. ඒ වෙනකම් මම මේ විදිහට බලන් ඉන්නවා’ එමොසි තවම බලාපොරොත්තු නැත්තටම නැති කරගෙන නැත. ඔහුගේ කාලය, ඔහුගේ ක්‍රීඩා දිවිය මෙසේ නිකරුණේ ගතවන්නේ නමුත් ඔහු සිනහ මුසු මුහුණින් අප සමග කතා කරයි. ‘ෆීජිවල රග්බි කියන්නේ ජාතික ක්‍රීඩාව වගේ මගේ රටේ කොහේ ඇවිදගෙන ගියත් පෙනෙන්නේ රග්බි සෙල්ලම් කරන දර්ශන තමයි. රටේ පොඩි ළමයි පවා හිතන්නේ ලොකු වෙලා හොඳ රග්බි ක්‍රීඩකයෙක් වෙන්න. මම රග්බි සෙල්ලම් කරන්න පටන්ගන්නකොට අපිට බෝලයක් තිබුණේ නැහැ. මම ප්ලාස්ටික් බෝතලයක් තමයි බෝලය වෙනුවට අරගෙන සෙල්ලම් කළේ. අපේ රටේ ජාතික කණ්ඩායමට යන එක ලෙහෙසි නැහැ. ලොකු තරගයක් තියෙනවා. විශේෂයෙන්ම සත් සමාජික කණ්ඩායමට. ජාතික කණ්ඩායමට එක්වීමේ බලාපොරොත්තුවක් මටත් තියෙනවා. මම නැවත ෆීජිවලට ගියාට පසුව ඒ වෙනුවෙනුත් වැඩ කරනවා’ ‘අම්මයි, තාත්තයි එක්ක මගේ පවුලේ 9 දෙනෙක්. මට සහෝදරියෝ හතරකුයි, සහෝදරයො දෙන්නෙකුයි ඉන්නවා. එක සහෝදරයෙක් ෆීජි හමුදා රග්බි කණ්ඩායමේ සාමාජිකයෙක්. මම පාසල් අධ්‍යාපනය හමාර කළේ 2016 දී. ඊට පස්සේ විශ්ව විද්‍යාලයේ මම ගණකාධිකරණය හදාරන්න පටන් ගත්තා. ඒක අතරමැද නතර කරන්න වුණා. මේක මගෙ පළවෙනි විදේශ කොන්ත්‍රාත්තුව නෙමෙයි. මම ගිය අවුරුද්දේ ඔස්ට්‍රේලියාවෙ ක්‍රීඩා සමාජයක මේ විදිහටම මාස 4ක කොන්ත්‍රාත්තුවකට ක්‍රීඩා කළා. ඒකෙදි ලැබුණු මුදල ඉතිරි කරගෙන තමයි මම ලංකාවට ආවේ. මෙ‌හෙදි ලැබෙන මුදලත් එකතු කරගෙන ගිහින් මගේ උපාධිය සම්පූර්ණ කරගන්න හිතාගෙනයි ඉන්නේ, බැංකුවක රස්සාවකට යන්න’ ඔහුගේ රට ජාතිය කුමක් වුවද ඇඟේ හයියත්, හිතේ හයියත් එක්තැන් කර ජීවිතය ජය ගැනීමට වෙහෙසෙන ඒ තාරුණ්‍යයේ අධිෂ්ඨානය ආදර්ශමත්ය. නමුත් රටේ ක්‍රීඩාව පිළිබඳව ක්‍රීඩා අමාත්‍යංශයට වඩා අධිකරණ අමාත්‍යංශයට වැඩ පැවරෙන මෙවන් රටකට පැමිණි වරදටදෝ මේ වන විට ඔහු නේවාසිකව සිටින පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරත් බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයත් අතර අරමුණකින් තොරව ඔහේ සැරිසන්නෙකු බවට පත්ව සිටියි. ‘ඇත්තටම මෙහෙම නිකම් ඉන්න එක ටිකක් අමාරුයි. මම මෙහෙම ඉන්න එකෙන් වැඩක් නැති නම් මම යන්නද කියලා මම ඇහුවා. ඒත් ක්‍රීඩා සමාජෙ අය මට කීවා තවත් තරග කිහිපයක් තියෙන නිසා මේ විදිහට ඉන්න කියලා අන්තිමට හරි අවස්ථාවක් ලැබුණොත් කියලා. මම කණ්ඩායමේ සාමාජිකයන්ට පුහුණු වෙන්න උදව් කරනවා. පහුගිය සතියේ සී.ආර් එක්කත් ගහලා දිනුවා. ඒක පොලිස් කණ්ඩායමට ලොකු ජයග්‍රහණයක්. ක්‍රීඩා කළේ නැති වුණත් මමත් ඒ අයත් එකතු වෙලා ඒ ජයග්‍රහණයේ සතුට ඒ විදිහටම විඳිනවා. ගොඩක් වෙලාවට මම අපේ ක්‍රීඩකයන්ගේ හොස්ටල් එකට ඇවිත් ඒ අයත් එක්ක කාලෙ ගෙවනවා. ඒ අය ගොඩක් හොඳයි. විහිළුවෙන් ඉන්නවා. ඒ වගේම මාව හොඳට බලාගන්නවා. මට මේ දවස්වල රග්බි සංගමයෙන් දීමනා ලැබෙන්නේ නැති නිසා පහුගිය තරගය දිනපු එක වෙනුවෙන් පොලිස් ක්‍රීඩකයින්ට ලැබුණු මුදලින් හැමෝම එකතු කරලා මගේ වියදමට මට සල්ලි දුන්නා. මට මේ අවට එහේ මෙහේ යන්න පාපැදියකුත් දීලා තියෙනවා. ඒකට මේ අය කියන්නේ මගේ ‘බී.එම්.ඩබ්ලිව්’ එක කියලා’ ඔහු හඬ නගා සිනාසෙමින් පවසයි. පැමිණි ගමනේ අරමුණු ඇනහිට ඇතත් ඔහු සැහැල්ලුවෙන් සිනාසෙයි. ඔහුට මෙහිදී හිතූ පරිදි වත්කම සොයාගත නොහැකි වුණිද හිතවත්කම නම් අඩු නැතිව ඔහුට ලැබෙයි. පොලිස් කණ්ඩායමේ ක්‍රීඩකයන් මෙන්ම නිලධාරීන්ද ඔහු ගැන සොයා බලා කටයුතු කරයි. කෑම බීම ආදිය පවා ඔහුට අවශ්‍ය පරිදි සපයයි. ‘මට මෙහේ තියෙන හොඳම කෑම තමයි මඤ්ඤොක්කා. ඒක ෆීජිවල අපේ සාම්ප්‍රදායික කෑමක්. මම ඉල්ලන කෑම මේ අය මට හදලා දෙනවා. ලංකාවේ කෑම රසයි. හැබැයි මටනම් ටිකක් සැර වැඩියි. දවසකට වතාවක් වත් මඤ්ඤොක්කා කන්න තමයි කැමති’ ඔහු කොළඹින් පිටට ගොස් ඇත්තේ මහනුවර කණ්ඩායම සමග තරගයට සහභාගිවීමට මහනුවරට යෑම පමණි. ඔහු රට තොට නොදනී. ‘ඊයේ මම කොණ්ඩෙ කපන්න සැලූන් එකකට ගියා. මට ඕනෙ විදිහට හරියට කොණ්ඩෙ කැපුවෙත් නෑ. රුපියල් 1000ක් ගත්තා’ මෙරට රග්බි ක්‍රීඩාවේ ‘වතුර බොරකිරීම්’ හා ‘කඹ ඇදීම්’ මත උපන් බිමෙන් කිලෝමීටර 11000කට මෙපිටින් ‘අනාථයකු’ බවට පත්ව සිටින මේ යෞවනයාට අද ඉතිරිවන්නේ එවැනි අත්දැකීම් පමණි. මෙවර රග්බි ලීග් තරගාවලියේ කණ්ඩායම් 8න්, දක්‍ෂතා අනුව අග සිටින කණ්ඩායම් 4ට විදෙස් ක්‍රීඩකයකුගේ සහය ලබාගත හැකි බවට රග්බි සංගමය අවස්ථාවක් ලබාදුන්නේ තරගාවලියේ තරගකාරීත්වය වැඩි කිරීමටය. ඒ වෙනුවෙන් එම විදෙස් ක්‍රීඩකයකුට ගෙවන මාසික දීමනාව වන ඩොලර් 1500 සහ ගුවන් ටිකට්පත් රග්බි සංගමය විසින් ගෙවන්නට පොරොන්දු විය. නමුත් විදෙස් ක්‍රීඩකයකුගේ දායකත්වය ලැබීමට වරම් නොලැබූ ලීග් තරගාවලියේ පළමු කණ්ඩායම් 4 අතරේ සිටින සී.එච් කණ්ඩායම මෙයට විරුද්ධව අධිකරණය ඉදිරියට ගියේය. විදෙස් ක්‍රීඩකයන් මෙලෙස වාරණයට ලක්වන්නේ ඒ සමගිනි. එම වාරණයත් සමගින් රග්බි සංගමය විදෙස් ක්‍රීඩකයන් වෙනුවෙන් ගෙවීම් අත්හිටුවීය. අනෙකුත් කණ්ඩායම් වෙනුවෙන් පැමිණි විදෙස් ක්‍රීඩකයන් මේ වන විටත් සිය රටවල් බලා ගොස් අවසානය. එමොසි පමණක් මෙහි ඉතිරිව ඇත. ඔබ මෙය කියවන මොහොත වන විටත්, මඤ්ඤොක්කා කමින්, සිය ‘බී.එම්.ඩබ්ලිව් පාපැදිය’ මත නැගී එහා මෙහා යමින්, පොලිස් ක්‍රීඩා සමාජයේ සගයන්ට ‘අත් උදව්වක්’ දෙමින් ජාත්‍යන්තර මට්ටමේ හැකියාවකින් යුත් මේ ක්‍රීඩකයා, අතරමග ඇනහිටි සිය විදෙස් තරග කොන්ත්‍රාත්තුවේ තවත් දවසක් ගතකරමින් සිටිනු ඇත. ඉන්ද්‍රජිත් සුබසිංහ ඡායාරූප- කාවින්ද ජයසුන්දර
 

More News..