brand logo

බන්ධනාගාර රෝහලට යන්න ඔන්න මෙන්න කියා තිබියදී රාජිතට ආතතිය හැදෙයි

30 December 2019

අත්අඩංගුවට ගෙන කොළඹ, පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට ඊයේ (29 වැනිදා) දහවල් ඇති වූ ආතතිය සහ අධි රුධිර පීඩන තත්ත්වය හේතුවෙන් මන්ත්‍රීවරයා බන්ධනාගාර රෝහලට රැගෙන යාම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත. බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ප්‍රතිකාර ලබන රෝහලට පෙරේදා (28 වැනිදා) ගොස් මන්ත්‍රීවරයා පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ යුතු බවට තීරණය කළේය. ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සමග බන්ධනාගාර රෝහලේ ගිලන් රථයක් ඊයේ (29 වැනිදා) දහවල් 1.30 ට පමණ මන්ත්‍රීවරයා ප්‍රතිකාර ලබන පෞද්ගලික රෝහලට යැවීමට කටයුතු කරන ලදී. මේ අතර මන්ත්‍රීවරයා ඊයේ (29 වැනිදා) පස්වරු 1.00 ට පමණ හෘද ස්පන්දන පරීක්ෂාවකට ලක්කෙරුණු අතර,එම පරීක්ෂාවෙන් අනතුරුව ඔහු බන්ධනාගාර රෝහලට රැගෙන යාමට නියමි විය. නමුත්, එම පරීක්ෂණයෙන් මඳ වේලාවකට පසු මන්ත්‍රීවරයාට ආතතිය සහ අධි රුධිර පීඩනය පැවැති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ඇති වූ ආතතිය සහ අධි රුධිර පීඩනය තත්ත්වය පිළිබඳව රෝහලේ වෛද්‍යවරුන් බන්ධනාගාර නිලධාරීන්ට දැනුම් දුන් අතර, ඒ අනුව, මන්ත්‍රීවරයා තවදුරටත් පෞද්ගලික රෝහලේ තැබීමටත්, බන්ධනාගාර රෝහලට ඔහු රැගෙන යාම තාවකාලිකව අත්හිටුවීමටත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. මන්ත්‍රීවරයාගේ නීතීඥයන් මෙහිදී බන්ධනාගාර නිලධාරීන් හමුවේ කියා සිටියේ හදිසි රෝගී තත්ත්වය හේතුවෙන් මන්ත්‍රීවරයා බන්ධනාගාර රෝහලට රැගෙන යාම ජීවිත අවදානමක් සහිත බවය. එමෙන්ම, මන්ත්‍රීවරයා බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට නම් පරීක්ෂාවට ලක්කළ හෘද රෝග විශේෂඥ වෛද්‍ය එම්.ආර්.මුබාරක්ගේ අනුමැතිය සහිත අත්සන අවශ්‍ය වූවද, විශේෂඥ වෛද්‍යවරයා ඊයේ (29 වැනිදා) දහවල් උත්සවයකට සහභාගිවී සිටියේය. මන්ත්‍රීවරයාට ඇති වූ හදිසි බව කියන අසනීප තත්ත්වය හේතුවෙන් වි‍ශේෂ වෛද්‍ය උපකරණ කීපයක්ද ඔහුගේ සිරුරට සම්බන්ධ කර තිබුණි. මේ අනුව මන්ත්‍රීවරයා බන්ධනාගාර රෝහලට රැගෙන යාමට පැමිණ සිටි නිලධාරීන් සහ බන්ධනාගාර ගිලන් රථය පැය කීපයකට පසුව පෞද්ගලික රෝහලේ භූමියෙන් පිටව ගියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මේ මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත් කරන ලෙස කොළඹ අතිරේක ම​ෙහස්ත්‍රාත් ශලනි පෙරේරා ඉකුත් 27 වැනිදා නියෝග කළාය. මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය කරනු ලැබුවේ අදාළ පෞද්ගලික රෝහලට ගොස් මන්ත්‍රීවරයා පරීක්ෂා කිරීමෙන් අනතුරුවය. සුදු වෑන් සම්බන්ධයෙන් අපරාධකරුවන් දෙදෙනකු සමග මාධ්‍ය හමුවක් පැවැත්වීමේ සිද්ධියට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබුණි. වරෙන්තු නිකුත් කර තිබියදී සැඟව සිටි මන්ත්‍රීවරයා කොළඹ, පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 26 වැනිදා සොයා ගන්නා ලදී.
 

More News..