brand logo

බන්ධනාගාරය තුල සිට සිදුකරන අපරාධ නතර විය යුතුයි

02 June 2020

පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම නතර විය යුතු බව බන්ධනාගාරවල අභ්‍යන්තර තත්වය විමර්ශනය කරනු පිණිස පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී  අවධාරණය කළෙමි. රට තුළ සිදුවන බොහෝ අපරාධ සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් බන්ධනාගාරයේ සිට මෙහෙයවන බවට නිශ්චිත තොරතුරු අනාවරණය වී තිබේ. ඒ පිළිබඳව ජනතාව අතර ද දීර්ඝ කාලයක සිට පවතින මතය ඉතා කණගාටුදායක වන අතර බන්ධනාගාර ඇතුළත ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන් නතර කිරීමට කටයුතු කළ යුතුය.
බන්ධනාගාරය හෝ පොලීසිය බිඳ වැටී ඇත්නම් රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී එය බලපාන අතර කුමන දේශපාලන මතයක් දැරුවද නිලධාරියෙකු හරි දේ කරන්නේ නම් එය අනුමත කිරීමට මම පසුබට නොවෙමි. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින අඩු පාඩු ඉවත්කර සම්පූර්ණයෙන් විධිමත් කළ යුතු බව මම එහිදී අවධාරණය කළ.‍අතර ආරක්ෂක ලේකම්, යුද හමුදාපති, පොලිස්පති ඇතුළු කමිටුවක ප්‍රධානත්වයෙන් එය සිදු කෙරෙනු ඇත. නිලධාරීන් පුහුණු කිරීම්, දිරිගැන්වීම් ඇතුළු සියලු ක්‍රියාකාරකම් අධීක්ෂණ කණ්ඩායමකට යොමු කිරීමට ද උපදෙස් දෙනු ලැබිණ. දූෂිත සහ අකාර්යක්ෂම නිලධාරීන් හඳුනාගෙන ඔවුන් සම්බන්ධයෙන් නිවැරදි තීරණ ගත යුතුව ඇත. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. මොහොමඩ් යන මහත්ම මහත්මීහූ සහ ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රමුඛ පොලීසියේ සහ බන්ධනාගාරයේ ඉහළ නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.
 

More News..