brand logo

බන්ධනාගාරයේ සිට මෙහෙය වූ මත්ද්‍රව්‍ය ජාවාරමක් හෙළි වෙයි

30 January 2021

බන්ධනාගාරගතව සිටින ක්ලෙමන්ට් ගුණරත්න නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් මෙහෙයවන ලද මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ. ජාවාරම මෙහෙයවන ලද 20 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු එම තොරතුරු අනාවරණය කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. දෙමටගොඩ ප්‍රදේශයේ දී අද(30) සැකකරුවෙකු මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන අවස්ථාවකදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් පොලීසිය සොයා ගෙන ඇත. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම කළුතර බන්ධනාගාරයේ සිටින එක්තරා ජාවාරම්කරුවෙකු විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු ලැබී ඇති අතර මේ සම්බන්ධයෙන් කොළඹ අපරාද කොට්ඨාසය විසින් විමර්ශන සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත්කර දින 7ක රැඳවුම් නියෝගයක් ලබාගෙන තවදුරටත් විමර්ශනය සිදු කරනු ලබන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..