brand logo

බන්දුලගේ කතාවට විභාග කොමසාරිස් පැහැදිලි උත්තරයක් දෙයි

03 January 2019

2018 අ.පො.ස. උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත් සිසුවිය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයත් සමග දැඩි ලෙස කතාබහක් ඇති වුණා. එම සියලු ගැටළුවලට පිළිතුරක් ලෙස විභාග කොමසාරිස් බී. සනත් පූජිත මහතාගේ අස්සනින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. විභාග කොමසාරිස්වරයා සදහන් කරන්නේ විශ්ව විද්‍යාවලට අපේක්ෂකයින් තෝරා ගැනීමේදී විභාගවලට පෙනී සිටීමේ අවස්ථාව මිස පාසල් අපේක්ෂකයකු හෝ පෞද්ගලික අපේක්ෂකයකු ද යන්න සලකා නොබලන බවයි. එම නිවේදනය මගින් විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් මෙලෙස සදහන් කර තිබෙනවා. මෙවර විභාගය සදහා කලා විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගත් ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලැබූ පෞද්ගලික අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත් වූ තුයිඅප්පුආරච්චිගේ දෝන සෙනාදි දම්යා ද අල්විස් ශිෂ්‍යවායි. කලා විෂය ධාරාවේ මුල් ස්ථාන හිමිකර ගත් අපේක්ෂකයන් පිළිබද තොරුතුරු ලබාදීම අනුව ඇයගේ දිස්ත්‍රික් / දිවයින්තරාව ප්‍රකාශයට පත් කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුත්තක් වන අතර එලෙස ඇය අධ්‍යාපනය ලැබූ ස්ථානය මුල් කර ගනිමින් ඇයගේ දක්ෂතාවය නොසලකා හැරීම ඇයට සිදුකරන බලවත් අසාධාරණයක් මෙන්ම ඇයගේ අයිතිවාසිකම් කඩවීමක් ද වන්නේය. මෙම අපේක්ෂිකාව විභාගය සදහා ඉල්ලුම් කිරීමේදී ඇයගේ අයදුම්පත්‍රයේ ලිපිනය ලෙස ලයිසියම් ජාත්‍යන්තර පාසල පානදුර ලෙස සදහන් කර තිබූ බැවින් ප්‍රතිඵල නිකුත් කිරීමේදී ද එම තොරතුරු වාර්තා කිරීමට සිදුවිය. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සියුලම විභාග අපේක්ෂකයන්ට සාධාරණය හා යුක්තිය ඉටු වන පරිදි කටයුතු කිරීමට නෛතික වගකීමකින් බැදී ඇති ආයතනයක් බැවින් කිසිදු අපේක්ෂකයෙකුට අයහපතක් හෝ අසාධාරණයක් සිදු නොවන අයුරින් කටයුතු කිරීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගනු ලබන බවටත් එම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වගවීමේ සියලුම මූලධර්ම ආරක්ෂා කිරීමට කටයුතු කර ඇති අතර මේ සම්බන්ධව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ඉතා නිවැරදිව කටයුතු කර ඇති බව සදහන් කරමි.
 

More News..