brand logo

බදු - වැටුප් - බඩු වැඩිවන අයවැයක් අනිද්දා පස්වරු දෙකට පාර්ලිමේන්තුවට

02 March 2019

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 2019 වර්ෂය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් බදු, භාණ්ඩ මිල සහ වැටුප් වැඩිවන බව වාර්තා වේ. අනිද්දා (05) මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ඉදිරිපත් කිරීමට නියමිත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අයවැය මැතිවරණය ඉලක්ක කර ඉදිරිපත් කරන අයවැයක් බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව නියමිත බදු වර්ග තුනක් ඉහළ දැමීමත්, එමගින් භාණ්ඩ හා සේවා ගාස්තු ඉහළ යෑමට නියමිත බව වාර්තා වේ. මේ අතර වැටුප් වැඩි කිරීම හෝ වැටුප් වර්ධකයක් ලබාදීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුවී ඇත. ඒ අනුව රාජ්‍ය සේවකයන්ට සේම, විශ්‍රාමිකයන් සහ සමෘද්ධිලාභීන්ට සහන ලබාදීම සඳහා යෝජනා කිහිපයක් මෙවර අයවැයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. මීට අමතරව ගොවීන්ට පොහොර නොමිලේ ලබාදීමටත්, වී මිල ඉහළ දැමීමටත්, අනෙකුත් කෘෂි ව්‍යාපාර සඳහා සහන ලබාදීමේ යෝජනාද අයවැයට ඇතුළත් කර ඇති බව සඳහන් වේ. මීට අමතරව පසුගියදා යෝජනා කළ වාහන සඳහා වූ කාබන් බද්ද ඉවත් කිරීම කෙරෙහිද අවධානය යොමුව ඇත. යහපාලන ආණ්ඩුව සමයේ ඉහළ දැමුණු වාහනවල බදු අගයෙහි වෙනසක් කරමින් දෙමුහුන් (හයිබ්‍රිඩ්) හා වෑන් රථවල මිලද අඩු කිරීමට නියමිත අතර, ඒ අනුව එන්ජින් ධාරිතාව මත (1000cc-1500cc) දක්වා වූ වාහන කාණ්ඩයේ මිල මේ අනුව වෙනස් වීමට බොහෝදුරට ඉඩ තිබේ. පාසල් ළමයින්ට ටැබ් පරිගණක අඛණ්ඩව ලබාදීමේ වැඩසටහනද, සෞඛ්‍ය අංශය සඳහා වැඩි මුදලක් වැය කිරීමටද සැලසුම් කර ඇත. 2016දී මාතර ඉදි කිරීමට යෝජිත උද්‍යානය සඳහා වෙන්කළ මිලියන 1500 වැඩ නොකිරීම හේතුවෙන් යළි භාණ්ඩාගාරයට එම මුදල් ආපසු යාම නිසා යළිත් එම මුදල් ප්‍රමාණය මෙවර අයවැයෙන්ද තීරණය කර ඇත. මේ අනුව 05 වැනි දින සවස 2.00ට ඉදිරිපත් කරන අයවැයෙහි දෙවැනි කියවීම 6 වැනිදා සිට 12 වැනිදා දක්වා දින හයකුත්, එහි ඡන්ද විමසීම 12 වැනි දිනයේ සවස 5.00ට පැවැත්වීමට නියමිතය. කාරක සභා අවස්ථාව 13 වැනි දින සිට අප්‍රේල් 05 වැනි දිනය දක්වා දින 19ක් පැවැත්වෙන අතර, ඡන්ද විමසීම අප්‍රේල් 05 වැනි දින සවස 5.00ට පැවැත්වේ. චමින්ද සේනාරත්න
 

More News..