brand logo

බදු අඩු කිරීමට එරෙහි වෙමින් විපක්ෂය ජනතාවට විපක්ෂ වෙයි

10 February 2020

ජනතාවට උහුලා ගත නොහැකි තරමට බදු බර පැටවූ විපක්ෂය, වත්මන් රජය බදු බර අඩු කරන විට එය විවේචනය කිරීම හාස්‍යයට කරුණක් බව සංවර්ධන බැංකු සහ ණය යෝජනා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි. පාලන බලය හෙබ වූ එක්සත් ජාතික පක්ෂය පමණක් නොව එවකට බදු බර වෙනුවෙන් කිසිවක් කතා නොකළ ජනතා විමුක්ති පෙරමුණ ද ආණ්ඩුවේ බදු සංශෝධන විවේචනයට ලක් කරමින් සිටින බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි. වත්මන් රජය බලයට පත්ව පැවැති පළමු කැබිනට් හමුවේදීම ජනතාවට සහන සැලසීම උදෙසා අනුමත කර ගැසට් කරන ලද වැට් බද්ද 8% දක්වා පහත හෙලීම ඇතුළු තීරණ කිහිපයක් පසුගිය දා පාර්ලිමේන්තුවේදී සම්මත විය. එහි දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් සේමසිංහ අමාත්‍යවරයා සඳහන් කළේ විපක්ෂය කිසිදු අවස්ථාවක ජනතාව සමග සිට ගැනීමට අපොහොසත් වූ බවයි. කෙසේ වෙතත් බදු සහන ක්‍රියාත්මක වීම පිළිබඳ රජය නිරන්තරයෙන් විමසිල්ලෙන් පසුවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ වැට් ඇතුළු බදු සහන ජනතාවට ලබා නොදෙන ව්‍යාපාර සහ ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි. බදු අඩු කිරීම හේතුවෙන් රටට අහිමි වන ආදායම ගැන පමණක් විමසන විපක්ෂයට දීමට ඇති පිළිතුර වන්නේ ජනතාව සතු සෑම මුදලක් ම බදු වශයෙන් අය කර ගෙන රජය ශක්තිමත් වීම වත්මන් රජයේ අරමුණ නොවන බවයි. එපමණක් නොව එක්සත් ජාතික පක්ෂයේ ම මාර්ගයේ ගමන් කරමින් ජනතාවට එරෙහිවීමේ පාපයට ජනතාව ජනතා විමුක්ති පෙරමුණට පසුගිය ඡන්දයේ දී නිසි පාඩම් ඉගැනුවේ 3% ඡන්ද ප්‍රතිශතයකට ඇද දමමිනි. ඔවුන් ද තව දුරටත් එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කිරීමට සූදානම් වන්නේ නම් සිදු වන්නේ මීළග මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව ජනතා විමුක්ති පෙරමුණෙන් තොර කලාපයක් බවට පත්වීම බව ද සේමසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
 

More News..