brand logo

බදියුදීන්ගේ සොයුරා ඇප මත මුදා හරී

17 February 2020

තලෙයි මන්නාරම ප්‍රදේශයේ පිහිටි රුපියල් මිලියන විසි හතරක් පමණ වටිනා අක්කර 40 ක පමණ ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් සකසා අත්පත් කර ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් අද (17) නියෝග කර ලදී. මෙම සැකකරුට ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් ඉකුත් සිකුරාදා ඔහුගේ නීතිඥවරුන් විසින් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරනු ලැබුහ. එම මෝසම සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරු සම්බන්ධයෙන් සිදුකර තිබෙන විමර්ශන වලට අදාල වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසිය වෙත නියෝග කර තිබුණි. ඒ අනුව පැමිණිල්ල ඊයෙ කැඳවනු ලැබූ අවස්ථාවේදී රහස් පොලිසිය විසින් දැනට සිදු කර තිබෙන පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය. එම වාර්තාව සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකාර රිෆ්කාන් බදියුදීන් රුපියල් 25,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළාය.. සෑම ඉරු දිනකම රහස් පොලිසිය හමුවේ වාර්තා කළ යුතු බවට මෙහිදී මහේස්ත්‍රාත්වරිය විසින් සැකකරු වෙත ඇප කොන්දේසියක් පනවන ලදී. ඊට අමතරව සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටත් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවටත් මහේස්ත්‍රාත්වරිය විසින් තවත් නියෝගයක් නිකුත් කළාය. ඉන් අනතුරුව නඩුව නැවත මේ මස 20 වනදා කැඳවීමට ද නියම කෙරිණි. මෙහි දී සැකකාර රිෆ්කාන් බදියුදීන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.   (අධිකරණ වාර්තාකරු)
 

More News..