brand logo

බදියුදීන්ගේ නිවසට දැරිය රැගෙන ආ තැරැව්කරුගේ බැංකු ගිණුමක් ගැන පරීක්ෂණ

25 July 2021

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙ සේවයේ යෙදී සිටියදී දැරියක මිය යෑමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශ 30කට ආසන්න ගණනක් සටහන් කර ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එම ප්‍රකාශවල සඳහන් කරුණු සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මක බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. මේ අතර එම සිදුවීමෙහි ප්‍රධාන තැරැව්කරු ලෙස සැලකෙන ශංකර් නැමැත්තාගේ බැංකු ගිණුම් පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් ඇති බව පොලීසිය පවසයි. සැකකරු ආගරපතන ප්‍රදේශයේ බැංකුවක ගිණුමක් පවත්වාගෙන ගොස් ඇති අතර එම ගිණුමට යම් ආකාරයක මුදල් බැර වීමක් සිදුව ඇති බවට විමර්ශනවලදී හෙළි වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. හිටපු ඇමතිවරයාගේ නිවසේ 2015ත් 2019ත් අතර කාලයේදී අදාළ නිවසේ සිටි තවත් කාන්තාවකගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබූ අතර එම කාන්තාව ද දූෂණයකට ලක්වී ඇති බව අනාවරණය වී ඇත. එම සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා අත්අඩංගුවට ගැනුණු අතර ඔහු ද ඊයේ (24) අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර ඇත. තවද එම 16 හැවිරිදි දැරිය මියයෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සැකකරුවන් දෙදෙනා ද ඊයේ (24) කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීයා වෙත ඉදිරිපත් කෙරුණි. හෙට (26) දිනයේ එම සියලු සැකකරුවන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 

More News..