brand logo

බදාගෙන ඇවිත් ලතාවට වෙන්වෙයි

28 September 2020

සිරුරුවලින් බද්ධ වූ නිවුන් දරුවන් බිහි වීම දුර්ලභ සිද්ධියක් නොවුණත් එකිනෙකා දෑත්වලින් බදා වැලඳගෙන සිටින ආකාරයෙන් බද්ධ වී මෙලොවට බිහි වූ දරුවන් දෙදෙනෙකු ගැන අසන්නට ලැබුණහොත් එය තරමක් දුර්ලභ කතාවක් වනු ඇත. මේ ආකාරයෙන් බිහි වූ දරුවන් දෙදෙනකුට අදාළ පුවතක් පසුගිය දා ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා විය. ගැහැනු දරුවන් දෙදෙනකු වූ ඔවුන්ට නම් තබා තිබුණේ සරාබෙත් සහ අමීලියා යනුවෙනි. 2019 ජුනි මාසයේ මෙලොව එළිය දුටු මෙම පුංචි සොයුරියන් දෙදෙනා වසරකට වැඩි කාලයක් ඒ ආකාරයෙන්ම එකිනෙකා හා බද්ධ වී සිටි අතර පසුගිය දා සිදු කරන ලද අතිශය සංකීර්ණ සැත්කමකින් පසු ඔවුන් එකිනෙකාගෙන් වෙන් කරනු ලැබිණි. පැය 11 ක් පුරා කෙරුණු මෙම සැත්කමට වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් 24 දෙනෙකුගේ කණ්ඩායමක් සම්බන්ධ වී සිටි බව ද වාර්තා වේ. සැත්කම සිදු කර තිබුණේ ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ පිහිටි සී.එස්. මොට් ළමා රෝහලේදී ය. මෙම දැරියන් දෙදෙනා සිසේරියන් සැත්කමක් මගින් මවගේ ගර්භාෂයෙන් ඉවතට ගනිද්දී ඔවුන් එකිනෙකා වැලඳගෙන සිටි බැව් වෛද්‍යවරුන් පවසා තිබිණි. දැරියන් දෙදෙනාගේ මව්පියන් වන්නේ ඇලිසන් සහ ෆිල් අර්වින් ය. තමුන්ට ලැබෙන්නට යන්නේ එකිනෙකා බද්ධ වී සිටින දරුවන් දෙදෙනකු බව මේ දෙදෙනාට දැනගන්නට ලැබී තිබුණේ ගැබ් ගැනීමෙන් සති 20 කට පසු කරන ලද අල්ට්‍රා සවුන්ඩ් පරීක්‍ෂණයකදී ය. ඔවුන් මාධ්‍ය සමග පවසා තිබුණේ එය දැරිය නොහැකි කම්පනයක් ඇති කළ අවස්ථාවක් වූ බවයි. ‘එය දැනුණේ කෙනෙකුට අහන්නට ලැබෙන නරකම ආරංචිය හැටියටයි’ ඇලිසන් පවසා තිබුණාය. ඔවුන් තුළ හටගත් කම්පනයට ප්‍රධානම හේතුවක් වී තිබුණේ මේ ආකාරයෙන් බද්ධ වී සිටින දරුවන්ගේ ජීවිත බේරා ගැනීම ඉතා අසීරු කරුණක් වීම බව පෙනේ. සැත්කමකින් ඔවුන් වෙන් කරනතුරු තම දරු දෙදෙනා ජීවත් නොවනු ඇතැයි යන හැඟීමක් ඇලිසන් සහ ෆිල් තුළ ඇති වී තිබිණි. දරු ප්‍රසූතියට පෙර ඇලිසන් ට ප්‍රතිකාර කළ කණ්ඩායමේ උදවිය පවා මෙම දරුවන් බද්ධ වී සිටි ආකාරය ගැන විමතියට පත්ව සිටි බව සඳහන් වේ. ‘ඔවුන් සියලු දෙනා අප වෙනුවෙන් දැඩි ලෙස කම්පාවට පත් වුණා....නමුත් කාටවත් කිසිදෙයක් කරන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ’ ඇලිසන් තවදුරටත් ප්‍රකාශ කර තිබුණාය. ඉතා අනතුරුදායක දරු ප්‍රසූති සම්බන්ධයෙන් කටයුතු කරන විශේෂඥයන් වෙත ඇලිසන් සහ ෆිල් යොමු කිරීමට පියවර ගෙන තිබුණේ එයින් පසුව ය. එහිදී වැඩි දුරටත් කරන ලද පරීක්‍ෂාවන්හි දී අනාවරණය වූයේ දරුවන් දෙදෙනා ට වෙනම අත් පා ආදිය පිහිටා තිබුණත් ඔවුන්ට ඇත්තේ එකම අක්මාවක් පමණක් බවයි. මෙම තත්ත්වය තුළ විශේෂඥ වෛද්‍යවරුන් මවුපියන් දෙදෙනාට පැවසුවේ දරුවන් බිහිවීමෙන් පසු ඔවුන් එකිනෙකාගෙන් වෙන් කරන සැත්කම ඉතා පරෙස්සමින් සහ විශාල සැලසුමකින් යුතුව කළ යුතු බවය. සැත්කම කිරීමට මුලින් තීරණය කර තිබුණේ පසුගිය පෙබරවාරි මාසයේ යි. නමුත් අනපේක්‍ෂිත ආකාරයෙන් සරාබෙත් සහ අමීලියා අසනීප වූහ. ඔවුන්ට වැලඳී තිබුණේ නියුමෝනියා තත්ත්වයකි. මේ නිසා ඔවුන් වෙන්කිරීමේ සැත්කම කල් දැමීමට වෛද්‍යවරුන්ට සිදු විය. සරාබෙත් සහ අමීලියා සුවය ලැබුවේ මාර්තු මාසයේ යි. එහෙත් ඒ වනවිට කොරෝනා වයිරසය මුළු ලෝකයම ගිල ගනිමින් තිබිණ. මෙම තත්ත්වය තුළ සැත්කම අවලංගු කරන ලද අතර දරු දෙදෙනා රෝහලෙන් යළි නිවෙස වෙත යවනු ලැබිණි. මෙය ඇලිසන්ටත්, ෆිල්ටත් දැඩි මානසික ආතතියක් ඇති කළ කාල වකවානුවක් වන්නට ඇති බවට සැකයක් නැත. කෙසේ හෝ වේවා, කොවිඩ් වසංගතය නිසා පනවා තිබූ නීති රීති මඳක් ලිහිල් වීමෙන් පසු අගෝස්තු 5 වැනි දින සැත්කම කිරීම සඳහා නැවතත් දින නියම කර ගන්නා ලදී. එදින පෙරවරු 11.19 ට සැත්කම ආරම්භ වූ අතර පස්වරු 1.11 වනවිට දැරියන් දෙදෙනා එකිනෙකාගෙන් වෙන් කිරීමට වෛද්‍යවරු සමත් වූහ. බිළිඳු සොයුරියන් දෙදෙනා මේ ආකාරයෙන් වෙන් කරන ලද මොහොත ගැන පවසමින් වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානියා වූ විශේෂඥ වෛද්‍ය ජෝර්ජ් මයිචලිස්කා කියා තිබුණේ එය මහත් හැඟීම්බර අවස්ථාවක් වූ බවයි. ‘දරුවන් එකිනෙකාගෙන් වෙන් කර ඔවුන් දෙදෙනකු බවට පත් කිරීම සඳහා අවසන් කැපුම කළ අවස්ථාව ශල්‍යාගාරයේ සිටි සියලු දෙනාටම ඉතාම හැඟීම්බර සහ අසාමාන්‍ය මොහොතක් වුණා’ යැයි ඔහු පවසා තිබුණේය. ‘මමත් නිවුන් දරු දෙදෙනකුගේ තාත්තා කෙනෙක්. නිවුන් දරුවන් අතර ඇති වන බැඳීම ගැන ඒ නිසා මම හොඳින් දන්නවා. සරාබෙත් සහ අමීලියා අතරත් ඉතාම සුවිශේෂී බැඳීමක් ඇති වේවි. ඔවුන් ගේ අනාගතය දීප්තිමත් එකක් වේවිය කියා මා විශ්වාස කරනවා’ යනුවෙන් ද වෛද්‍යවරයා තවදුරටත් පවසා තිබිණි. සරාබෙත් සහ අමිලියා එකිනෙකා සමග බද්ධ වී සිටියේ පපුවෙන් සහ උදර ප්‍රදේශයෙනි. දෙදෙනා වෙන් කිරීමෙන් පසු තවත් පැය ගණනාවක් ගත වූයේ ඔවුන් ගේ පපුවේ සහ උදරයේ කොටස් නැවත සකස් කිරීම සඳහා ය. දෙදෙනාටම පොදුවේ පිහිටා තිබූ පපුවේ මැද අස්ථිය වැනි අංග කෘත්‍රිමව නිපදවන්නට සිදු ව තිබිණි. සැත්කම සඳහා ගත වූ පැය 11 කට ආසන්න කාලය පුරාම ඇලිසන් සහ ෆිල් දෙදෙනා ට රැඳී සිටින්නට සිදුවූයේ රෝහලෙන් පිටත නවතාගෙන සිටි ඔවුන්ගේ මෝටර් රිය තුළ ය. කොවිඩ් වසංගතය නිසා පනවා තිබූ සීමාවන් හේතුවෙන් ඔවුන්ට රෝහල තුළට ඒමට අවසර ලැබී තිබුණේ නැත. කෙසේ හෝ වේවා, සරාබෙත් සහ අමීලියා මේ වනවිට රෝහලෙන් නික්ම ඔවුන්ගේ නිවස වෙත පැමිණ සිටිති. නමුත් වෛද්‍යවරුන් පවසන්නේ ඔවුන් කෙමෙන් වැඩෙද්දී තවත් සැත්කම් කිහිපයක් කිරීමට සිදුවනු ඇති බවයි. එහෙත් සාමාන්‍ය දරුවන් දෙදෙනකු මෙන් වැඩෙන්නට ඔවුන් ට කිසි බාධාවක් නොවනු ඇති බවට ද වෛද්‍යවරු විශ්වාසය පළ කරති. සහන් වික්‍රමගේ
 

More News..