brand logo

බතික් ඇමැතිට කරනවා නම් වැඩක් මෙන්න

25 September 2020

බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මඩොල්සිම පාරේ 2 කණුව, කිතුල්කැලේ ප්‍රදේශයේ ස්ථාපිතව තිබුණු බලවේග පේෂකර්මාන්ත ශාලාවට අයත් ගොඩනැගිලි කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අතහැර දමා ඇති බව ප්‍රදේශවාසීහු හා එහි සේවයේ නියුතුව සිටි පිරිස පැවසූහ. එවකට ස්වදේශ කටයුතු ඇමැතිව සිටි විජයානන්ද දහනායක මහතාගේ ප්‍රධානත්වයෙන් 1969 අප්‍රේල් මස 22 වැනිදා ආරම්භ කර ඇති මෙම පේෂකර්මාන්ත ශාලාව 1981 වසරේදී පෞද්ගලික අංශයට පවරා ඇති අතර 1995 වසරේදී හදිසියේම කර්මාන්තශාලාව වසා දැමූ බව එහි සේවය කළ පිරිස පැවසූහ. එච්.එම්. කරුණාවතී මහත්මිය - මම සහ මගේ මහත්තයා මේ කර්මාන්ත ශාලාවේ වැඩට ආවේ 1972 අවුරුද්දෙ. එදා ඉඳන් අපේ පවුල ජීවත් වුණේ මෙහි වැඩ කරලා ගත්ත පඩියෙන්. ටික කාලෙකට පස්සේ මෙම කර්මාන්ත ශාලාව පෞද්ගලික අංශෙට පැවරුවා අපි එහි කිසිදු ප්‍රශ්නයක් නැතුව වැඩ කළා. 1995 අවුරුද්දේ දිනයක වැඩට යනකොට කර්මාන්ත ශාලාවේ ගේට්ටුවට ඉබ්බා දාලා වහලා තිබුණා. එදා අපිට රැකියාව නැතිවුණා. අපිට පුදුම කනගාටුවක් දැනුණා. මේ ගැන අහන්නවත් කෙනෙක් හිටියේ නැහැ. අපිට කර කියා ගන්න දෙයක් තිබුණේත් නැහැ. ඊට පස්සේ අපි බොහෝම අමාරුවෙන් තමයි ජීවත් වුණේ. අවුරුදු ගණනාවක් යනකම් මේ ගොඩනැගිල්ලෙන් කිසිදු ප්‍රයෝජනයක් ගන්නේ නැතුව කැලෑවැදී තිබෙනවා. මේ කර්මාන්ත ශාලාව නැවත පටන් ගන්න පුළුවන් නම් ඒක අපේ ප්‍රදේශයට ගොඩාක් වටිනවා.’’ පී.ඩී. ගමගේ මහතා - ‘‘මෙවැනි වටිනා දේපළක් නිකම්ම කැලෑවට යටවෙලා තියෙන එක ජාතික අපරාධයක්. මෙය නැවත ස්ථාපිත කරන්න පුළුවන් නම් අපේ ප්‍රදේශයට වගේම රටේ ආර්ථිකයටත් ඉතා වැදගත් වෙයි. මේ වන විට මෙම ගොඩනැගිල්ල තිබෙන ඉඩම කිසියම් පෞද්ගලික ආයතනයකට හෝ කෙනෙකුට විකුණා ඇති බව දැනගන්න තියෙනවා. රජය මැදිහත්වෙලා ආරම්භ කරපු මෙවැනි ව්‍යාපෘතීන් කොහොමද විකුණන්නේ. මේ පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරලා නැවත මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කරන්න කියලයි අපි ඉල්ලන්නේ.’’ ජයලත් දිසානායක - බදුල්ල
 

More News..