brand logo

බටු කැස්බෑවෙකු මස් කරමින් සිටි මවක සහ දියණියක් අත්අඩංගුවට

13 January 2019

බටු කැස්බෑවෙකු ඝාතනය කර මස් කරමින් සිටි මවක සහ දියණියක් වන ජීවී දෙපාර්තමේන්තුවේ ආනවිළුන්දාව අඩවි වන කාර්යාලයේ නිලධාරීන් සහ නාවුක හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකාරියන් හලාවත මහේස්ත්‍රාත් රඛිත පී.අබේසිංහ මහතා වෙත 12 වැනිදා රාත්‍රීයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 14 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කර ඇත. පසුගිය 12 වැනිදා දහවල් ආරච්චිකට්ටුව - නගුල්එළිය ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. වන ජීවී සහ නාවුක හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුව - නගුල්එළිය පදිංචි එකම පවුලේ මවක සහ දියණියකවය. ඔවුන් වයස අවුරුදු 41 සහ 20 වැනි වියේ පසුවන දෙදෙනෙකි. වන ජීවී සහ නාවුක හමුදා නිලධාරීන් ඒකාබද්ධව සිදු කරන ලද මුර සංචාරයකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.වන ජීවී සහ නාවුක හමුදා නිලධාරීන් වැටලීම සිදු කරන විට සැකකාරියන් දෙදෙනා ඝාතනය කරන ලද කැස්බෑවා මස් කරමින් සිට ඇත. සැකකාරියන් සතුව තිබී කැස්බෑ මස් තොගයක්, ඝාතනය කරන ලද කැස්බෑවාගේ ශරීරයේ කොටස්,මේරූ කැස්බෑ බිත්තර 111 ක් සහ කැස්බෑවා මස් කිරීම සදහා යොදා ගත් උපකරණ කීපයක්ද වැටලීම කළ නිලධාරීන් විසින් තම බාරයට ගෙන ඇත. ආනවිළුවන්දාව වන ජීවී අඩවි වන ආරක්ෂක ආර්.ජී.හේමචන්ද්‍ර මහතා ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත. ජුඩ් සමන්ත
 

More News..