brand logo

බංග්ලාදේශය සහ සභාපතිගේ පිල හෙට කටුනායකදී මුණගැසේ

16 April 2021

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරග දෙකක් සඳහා ලංකාවට පැමිණි බංග්ලාදේශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙදින පුහුණු තරගය හෙට (17 වැනිදා) කටුනායක හලාවත මේරියන්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. ඉකුත් 12 වැනිදා විශේෂ ගුවන් යානයක් මගින් ලංකාවට පැමිණි බංග්ලාදේශය දින කිහිපයක නිරෝධායනය අවසන් වීමෙන් අනතුරුව මෙම තරගයට සහභාගි වනු ඇත. පුහුණු තරගයෙන් පසු ටෙස්ට් තරග දෙක පැවැත්වෙන මහනුවර බලා බංග්ලාදේශ කණ්ඩායම පිටත් වීමට නියමිතය. දෙරට අතර පළමු ටෙස්ට් තරගය මේ මස 21 වැනිදාත්, දෙවැනි තරගය මේ මස 29 වැනිදාත් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ටෙස්ට් තරග දෙකම පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වේ. මොමිනුල් හක්ගේ නායකත්වයෙන් 21 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකාව බලා පැමිණියේය. තරග තහනමකට ලක්ව සිට ඉන් මිදුණු ශකීබ් අල් හසන් අයි.පී.එල්. තරගාවලිය හේතුවෙන් මෙම සංචිතයෙන් ඉවත්ව තිබීම කැපී පෙනෙන කාරණයක් විය. මීට පෙර අදාළ තරග දෙක ඉකුත් 2020 වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාසයන්හි පැවැත්වීමට නියමිතව තිබුණත්, උද්ගත වයිරස තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ පැවැති නිරෝධායන නීති වලට එකග වීමට බංග්ලාදේශය අකමැති වීමෙන් තරගාවලිය මේ දක්වා කල් තැබිණි. කෙසේ නමුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ප්‍රථම වරට වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමව කැඳවීමේ වැඩි ඉඩක් පවතින බවට සැලවේ. වමතින් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන් ප්‍රවීන්ට අදාළ අවස්ථාව උදාවන බවට වාර්තා වේ. අනුමාන කරන ශ්‍රී ලංකා සංචිතය - දිමුත් කරුණාරත්න (නායක), දසුන් ශානක, පැතුම් නිශ්ශංඛ, ඕෂධ ප්‍රනාන්දු, ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, රොශේන් සිල්වා, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, විශ්ව ප්‍රනාන්දු, සුරංග ලක්මාල්, අසිත ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම බංග්ලාදේශ සංචිතය - මොමිනුල් හක් (නායක), අබු ජයිඩ්, එඉඩොට් හුසේන්, කලේඩ් අහමඩ්, ලිටන් ඩස්, මෙහෙදි හසන් මිරාස්, මොහොමඩ් මිතුන්, මොකිදුල් ඉස්ලාම්, මුශ්ෆිකර් රහීම්, නජ්මුල් හුසේන් ශැන්ටෝ, නයීම් හසන්, නුරුල් හසන්, යසිෆ් හසන්, ශඩ්මන් ඉස්ලාම්, ශොහිදුල් ඉස්ලාම්, ශොරිෆුල් ඉස්ලාම්, ශුව්ගටා හොම්, ටයිජුල් ඉස්ලාම්, ටමීම් ඉක්බාල්, ටස්කින් අහමඩ්, යසීර් අලී
 

More News..