brand logo

පෝලිම් යුගය අවසන් කරන හැටි

23 March 2022

මෙකල ලංකාවේ ප්‍රමුඛම ව්‍යාපාරිකයා ලෙස හැඳින්වෙන්නේ ධම්මික පෙරේරාය. හේලිස්, සිංගර් වැනි කීර්තිමත් ව්‍යාපාර රැසකට මෙන්ම සම්පත්, පෑන් ඒෂියා, එල්.බී. ෆිනෑන්ස්, වැලිබල් ෆිනෑන්ස් වැනි බැංකු හා මූල්‍ය සමාගම් ජාලයකට හිමිකම් කියන ඔහු DP එඩියුකේෂන්හි නිර්මාතෘවරයාද වේ. ජනපතිවරයා විසින් ගිය සතියේ පත් කරන ලද ආර්ථික උපදේශන සභාවද නියෝජනය කරන ඔහු රටේ උද්ගත වී ඇති ආර්ථික අර්බුදය හා පෝලිම් යුගය විසඳීමේ ක්‍රමවේදයක් ගැන අදහස් දැක්වූයේ මෙසේය. අනුර කුමාර දිසානායක, ටිරාන් අලස්, සුනිල් හඳුන්නෙත්ති ඇතුළු පිරිසක් චන්න පලන්සූරිය මහතාගේ ගෙදරදී ඔබව හමුවුණා කියලා සමාජ මාධ්‍යවල ප්‍රවෘත්තියක් තිබුණා. ආර්ථික සභාවේ උපදේශකයෙක් වුණ ඔබ එබඳු හමුවීමක් කළේ ඇයි? මමත් ඔය පෝස්ටුව දැක්කා. මම ඒක දැක්ක ගමන් චන්න පලන්සූරියට යැව්වා. මේ කට්ටිය මම අහල තිබුණාට කිට්ටු මිත්‍රයො නෙවයි, ඔබේ මිත්‍රයොද දන්නෙ නෑ කියලා. චන්නත් ලොකු හිනා මූණක් එවලා තිබුණා. ඔබ ආර්ථික උපදේශක සභාවේ සාමාජිකයෙක්. මේක රටේ ආර්ථික වශයෙන් මුහුණ දී සිටින තීරණාත්මක අවස්ථාව. මේ කාලය ගැන මොකද හිතෙන්නේ? අපිට ඩොලර් ඕනෑ. අපිට මහා ප්‍රශ්න තියෙනවා. ඇත්ත. ඒත් මේ වාගේ මොහොතකත් අපි ප්‍රශ්නවලින් ගොඩ යන්න නම් ජාතියේ ප්‍රතිරූපය ගැනත් හිතන්න ඕනේ. අපිට අවුස්සන්න පුළුවන්, විසඳන්න බෑ. මේ වෙලාවේ ඕනෑ අමාරුවෙන් හෝ අලුතින් හිතන අය, විසඳුම් ​හොයන අය. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් ප්‍රවෘත්ති තමයි. හැබැයි මේවා විදේශවල ප්‍රචාරය වෙනකොට ජාතියේ ප්‍රතිරූපයයි බිඳෙන්නේ. එහෙම වුණාම ආයෝජකයෝ විතරක් නෙවෙයි, සංචාරකයොත් ලංකාවේ පැත්තටවත් එන්නේ නෑ. ඒ වාගේ දේවල් මේ ඩොලර් ප්‍රශ්නය වැඩි කරලා රටේ අර්බුදය උග්‍ර කරනවා. රටේ හොඳ නමත් කෙළෙසීමෙන් මේ අර්බුදයට බලපානවා. ඔබ හිතනවාද මේ තෙල් පෝලිම්, ගෑස් පෝලිම් ඉක්මනින් නැති කරගන්න මාර්ගයක් තියෙනවා කියලා? මුළු ප්‍රශ්නයම එකපාර විසඳන්න බැරි වෙයි. හැබැයි අපි මෙහෙම හිතන්න ඕනෑ. අපිට ඩොලර් එක රුපියල් 100 නම් මාසෙට ඩොලර් මිලියන 450 ක් ඕනෑ වෙනවා රටට අවශ්‍ය තෙල් ගෙනෙන්න. නමුත් ගෑස් ගෙනෙන්න මාසෙට වියදම් වෙන්නේ ඩොලර් මිලියන 40 යි. අපි ඩොලර් බිලියන 450 ක්ම හොයා ගන්නතුරු ඉන්නේ නැතිව ලැබෙන ඩොලර් මිලියන 40 කින් ගෑස් ගෙනාවොත් එක පෝලිමක් මේ රටෙන් ඉවත් කරන්න පුළුවන්. ගෑස් නියමිත විදියට ලැබෙනව නම් දහස් ගණනක් කෑම කඩ හෝටල්, ආපනශාලා ආයෙත් විවෘත කර ගන්න පුළුවන්. ගෙවල්වලට කෑම උයාගන්න විතරක් නෙවෙයි, තවත් ලක්ෂ ගණනකට ජීවනෝපායන් සලසා ගන්න පුළුවන්. තෙල් නැතිනිසා මේකටත් ප්‍රශ්න එයි. නමුත් එහෙම හිතුවොත් එක පෝලිමක් ඉවර කරගන්න පුළුවන්. ඒකට වැය වෙන්නේ ඩොලර් මිලියන හතළිහයි. ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියට තියෙන ලොකු චෝදනාවක් තමයි වේලාසනින් කරන්න ඕනෑ දේ කළේ නෑ කියලා. උදාහරණයක් විදියට රුපියල පා වෙන්න ඇරියා නම් මේ ප්‍රශ්නය මේ තරම් සංකීර්ණ වෙන්නේ නෑ කියලා විචාරකයෝ කියනවා? ඔව් එහෙම දෙයක් තියෙනවා. ජනතාව, නොයෙක් විචාරකයෝ ආණ්ඩුවට උපදෙස් දෙන බව අපට ඇහෙනවා. ආණ්ඩුව ඒ උපදෙස් පිළිඅරගෙන වැරදුණොත් ඒ අයම අනෙක් පැත්තට කතා කරනවා. ඩොලරය පා වෙන්න ඉඩ දුන්නහම ඒක ​කොතනින් නතර වෙයිද කියලා කියන්න බෑ. දැනට ඒක රුපියල් 265 ට ගිහින් තියෙනවා. තවත් ඉහළ නගින්න ඉඩ තියෙනවා. යම් විදියකින් ඩොලරය රුපියල් 350 ට නැග්ගොත් ආයෙත් ජනතාවම කියයි ඩොලරය පාවෙන්න දෙන්න එපා කියලා. එහෙම කළ නිසායි වැරදුණේ කියලා කියයි. එහෙම තමයි ජනතාව මේවා ඉදිරියේ හැසිරෙන්නේ. වෙන රටවල් ඩොලරය ගැන මොන වාගේ ප්‍රතිපත්තියක්ද අනුගමනය කරන්නේ? කොයි රටත් තමන්ට වාසි සහගත විදියට තමයි කටයුතු කරන්නේ. ඉන්දියාව පවා සමහර අවස්ථාවල ඩොලරයේ වටිනාකම වැඩි වෙන්න ඉඩ දෙනවා. සමහර වෙලාවට කෘත්‍රිමව ඩොලරයේ වටිනාකම ඉහළ යන්න දෙනවා. ඉන්දියාව එහෙම කරන්නේ තමන්ගේ රටේ අපනයනයන්ට ඉහළ මිලක් ලබා දෙන්න. අපිත් විනිමය අනුපාතය දිහා බලන්න ඕනෑ එහෙමයි. ඩොලරය පා වෙන්න ඉඩ නොදීම නිසා ලංකාවේ බැංකු හරහා මුදල් එවනවාට වඩා උන්ඩියල් ක්‍රමයට මුදල් එවන්න ජනතාව පටන් ගත්තා. මේ උන්ඩියල් ක්‍රමයත් ඩොලර් හිඟ කරන්න හේතු වුණ බවට ප්‍රකාශ වෙනවා? අපි ජනතාව ගනුදෙනු කරන ක්‍රම සහ විධි ගැන විවේචන කර කර නීති පනවා ඉඳලා වැඩක් නෑ. උන්ඩියල් ක්‍රමය වාගේ මුදල් හුවමාරු ක්‍රමයක් ලංකාවේ බරපතළ විදියට තියෙන්නේ ඇයි? අද උන්ඩියල් ක්‍රමය වැඩිපුරම පාවිච්චි කරන්නේ විදේශවල ඉගෙන ගන්න ලංකාවේ ශිෂ්‍යයෝ සඳහා. විදේශවල ඉගෙන ගන්න ළමයින්ට බැංකු හරහා මුදල් යවනවා වෙනුවට උන්ඩියල් ක්‍රමයට මුදල් යවන්න දෙමාපියෝ කටයුතු කරනවා. වාර්ෂිකව ළමයි 30000 ක් විතර ඉගෙන ගන්න පිටරට යනවා. දෙක වසර, තුන වසර ඉගෙන ගන්න අය තවත් 60,000ක් විතර පිටරට ඉන්නවා. අපේ ළමයින්ට ඉගෙන ගන්න වාර්ෂිකව ඩොලර් බිලියන දෙකහමාරක් විතර ලංකාවෙන් උන්ඩියල් ක්‍රමයට පිට රටට යවනවා. ඇයි උණ්ඩියල් ක්‍රමයෙන් පිටරටට ඇදිලා යන මේ ධනය නවත්ත ගන්න බැරි. ලංකාවේ පිටරට විශ්වවිද්‍යාල පිහිටවන්න කාලයක් ගත වෙයි. කියලා කවුරු හරි කියයි, නෑ, දැනට ලංකාවේ තියෙන විදේශ උපාධි දෙන අධ්‍යාපන ආයතන ගණනාවක් තියෙනවා. NSBM එක හොඳ උදාහරණයක්. මේ වාගේ අධ්‍යාපන ආයතනවලට ඉක්මනින් විශ්වවිද්‍යාල තත්ත්ව ලබාදීලා මේ පිටරට යන දරුවන්ව මෙහේ රඳවා ගන්න ඕනෑ. ඒක ඉක්මනින් කරන්න පුළුවන් එක වැඩක්. දිගු කාලීනවත් හිතන්නත් මේක හොඳම වෙලාව. වළක වැටුනාම තමයි අපි හොඳම විදියට ගොඩ යන්න හිතන්න ඕනෑ. අපි විදේශ විශ්වවිද්‍යාලවලට මෙහේ ඇවිත් විශ්වවිද්‍යාල පිහිටුවන්න අවසර දෙන්න ඕනෑ. බදු සහන දෙන්න ඕනෑ. ඒ වාගේම විදේශවලින් ඇවිත් ලංකාවේ තියෙන මේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න ඉඩ පහසුකම් හදා ගන්න ඕන. අපෙන් ගිය තිස්දාහට තව හැටදාහක් ලංකාවට විදේශ ශිෂ්‍යයෝ ගෙන්නාගෙන අධ්‍යාපනය ලබාදීලා විදේශ විනිමය ගෙන්නා ගන්න තරමට අපි හිතන්න ඕනේ. සොලී දේසෙන් ඇවිත් ගෙනිච්ච හැට දාහට එක්ලක්ෂ විසිදාහක් ගජබා රජ්ජුරුවෝ යුද්ධ කරලා මෙහෙට ගෙනාවා කියලා වංශ කතාවක් තියෙනවානේ. අපිත් දැන් එහෙම හිතන්න ඕනේ. තොරතුරු තාක්ෂණය විශේෂයි. අපි DP අධ්‍යාපන සේවයෙන් දැන් රටේම පුද්ගලික අධ්‍යාපනයට සමාන අවස්ථා උදා කරන්න පුළුවන් වෙලා තියෙනවා. මොරටුව විශ්වවිද්‍යාලයත් එක්ක DP සේවය පටන් ගත්ත තොරතුරු තාක්ෂණික පාඨමාලාවලට දින 21 ක් ඇතුළත 36000 ක් බැඳිලා තියෙනවා. තොරතුරු තාක්ෂණයෙන් ඩොලර් ගේන්න පුළුවන් පුරවැසියන් ගැන දැන්ම හිතන්න ඕනේ. ආණ්ඩුවට අන්තර් ජාතික මූල්‍ය අරමුදලට යන්න වෙලා. අන්තර්ජාතික මූල්‍ය අරමුදල අපිට දාන කොන්දේසි ගැන දැනටමත් මත පළ වෙනවා. පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න කියයි වගේ ඒවා? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්න කලින් අපි හිතන්න ඕනෑ දේවල් තියෙනවා. තෙල් සංස්ථාව පාඩුයි. සංස්ථාවේ තියෙන පිරිපහදු මැෂිම වසර 55 කටත් වඩා පරණයි. තෙල් සංස්ථාවට හයිඩ්‍රෝ ට්‍රැකර් යුනිට් එකක් නෑ. එක්කෝ අපි අලුත් යන්ත්‍රයක් පුද්ගලික අංශයෙන් හදන්න ඕනේ. ආණ්ඩුවට ඒවාට වියදම් කරන්න අමාරුයි. එහෙම නැතිනම් පිරිපහදු කළ තෙල්ම ගෙන්වන එක මීට වඩා ලාභද බලලා ඒ අනුව කටයුතු කරන්න ඕනේ. මේවා IMF එක කියන්න ඕනේ නෑ. විදුලිබල මණ්ඩලය පාඩුයි. ඇයි? විදුලිබල මණ්ඩලය තියෙන්නේ අඩුම මිලට විදුලි ඒකකයක් මිලට අරන් ජනතාවට දෙන්න. නමුත් නගර සභාවේ කුණු ප්‍රතිචක්‍රීය කරන ආයතනය එයින් උපදවන විදුලිය ඒකකයක් විදුලිබල මණඩලේ මිලට ගන්නේ රුපියල් තිස්පහට. එහෙම කරන්න බෑ. විදුලිබල මණ්ඩලේ විදුලි ඒකකය ගන්නේ රුපියල් 23 ට නම් 23 ට ගන්න ඕනේ. පරිසර හිතවාදී Green Power අරව මේවා කියලා වැඩි මිලට ගෙවල පාඩු විඳින්න මණ්ඩලයට වුවමනා නෑ. මේවා අපි අයි.එම්.එෆ් එක කියනතුරු ඉන්න දේවල් නෙවෙයි. තෙල් සංස්ථාවෙන් තෙල් අරන් විදුලිය හදන විදුලිබල මණඩලයත් පාඩුයි. ඒ වාගේම තෙල් සංස්ථාවත් පාඩුයි. මේක අපේ විකෘතියක්. අපි අවංක වෙන්න ඕනෑ. තෙල් මිල සූත්‍රයක් තියෙන්න ඕනේ. තෙල් මිල ඉහළ යනකොට මිල සූත්‍රයක් අනුව අඩු වැඩි කරන්න ඕනෑ. ඒක ඉංග්‍රීසි අකුරු පෙන්නලා ජනතාවට හංගන එකක් නෙවෙයි. විනිවිද පෙනෙන සූත්‍රයක් වෙන්න ඕනෑ. එහෙම සූත්‍රයකට අනුව අපි කටයුතු කරමින් හිටියා නම් මේ වාගේ විශාල අර්බුදයක් වෙලාවේ අපිට පාරිභෝගිකයන්ට සහනයක් වෙන විදියට වැඩ කරන්නත් තිබුණා. මේවා විතරක් නෙවෙයි. මේ ආණ්ඩුව ආව ගමන් ව්‍යාපාරිකයන්ට විශාල බදු සහන ලැබුණා. වැට් බද්දත් ඉවත් කළා. ඔව්. ඒක රජයේ ප්‍රතිපත්තිමය තීන්දුවක්. ආර්ථිකයේ ලොකු පිම්මක් පන්නන්නයි එහෙම කළේ. නමුත් වැට් බද්ධ අතහැරීමෙන් විතරක් බිලියන 450 ක් රජයට අහිමියි. මුළු බදු ආදායම බිලියන 600 ක් අහිමියි. මේ බදු යළි පනවන්න ඕනෑ. ඔබ ඉන්න ආර්ථික උපදේශක සභාවට සෞභාග්‍යයේ දැක්ම හදන්න දායක වුණ අය කවුරුත් මේ වෙලාවේ නියෝජනය වෙන්නේ නෑ. යම් විදියකින් සෞභාග්‍යයේ දැක්මට වෙනස් විදියට ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න වුණොත්? ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය හැදුවේ මීට වසර 2 1/2 කට කලින්. ඒක හදනකොට මේ වාගේ ලෝක වසංගතයක් එයි කියලා කවුරුත් හිතුවේ නෑ. ඒ නිසා මේ වාගේ අර්බුදයක් ගැන පුරෝකතනය කර ගන්නත් බැරි වුණා. දැන් අවශ්‍ය වෙන්නේ මේ තියෙන හදිසි තත්ත්වයෙන් ගොඩ එන්න. ඊට පස්සේ අපිට මේක සන්සන්දනය කරන්න පුළුවන්. යන පාර තෝරා ගන්න පුළුවන්. ඔබ හිතන විදියට රටේ ආර්ථික අර්බුදයේ හදිසියෙන් විසඳා ගත යුතු මොන වාගේ දේවල්ද? දැන් ප්‍රශ්න දෙකක් තියෙනවා. ණය වාරිකය ගෙවීම සහ රටේ දෛනික වියදම් දරාගැනීම, රට හොඳට තියෙන කාලෙත් වැඩිපුර ඩොලර් බිලියන 1 1/2 ණයට අරගෙන බඩු ගෙන්නුවේ. දැන් ආනයන වියදම් සීමා කරලා තියෙනවා. ඒත් වසරකට ඩොලර් බිලියන පහක් අපට ඕනෑ පෝලිම් නැතිව රට දුවන්න. දැන් ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක් අපට තියෙනවා. ඒක මාස දෙකහමාරක් පෝලිම් නැතිව දුවන්න තියා ගන්න පුළුවන්. ඒ අතරේ ණය වාරිකය ගෙවීම ගැන සාකච්ඡා කරන්නම වෙනවා. වාරිකය වෙනුවට පොලිය ගෙවන්න, ණය ගෙවන්න තියෙන කාලේ දිගු කරගන්න වාගේ දේවල් සාකච්ඡා කරගන්න වෙනවා. මේ අර්බුදය විසඳෙන්න කොපමණ කාලයක් යයිද? අපි කවදා ද ඉක්මනින් වැඩ පටන් ගන්නේ, එදා ඉඳන් ප්‍රශ්නෙ විසඳෙන දවස ඉක්මන් වෙනවා. මේ උපදේශක සභාවට ගිහින් උපදෙස් දෙන්න ඔබගේ සූදානම කොහොමද? මම යමක් කරලා ඒක සාර්ථක වෙනවද කියලා බලලා තමයි ඒක බිමේ පැළ කරන්නේ. මම මේකෙ ඉඳගන්න කලින් Economics ලා ඒ කියන්නේ ආර්ථික විද්‍යාඥයෝ පස් දෙනකුත් ආර්ථික සංඛ්‍යාතය හැදෑරූ ආර්ථික විද්‍යාඥයෝ ‘‘Econometrics’’ ලා පිරිසකට මාගේ ප්‍රායෝගික ව්‍යවසාය, අත්දැකීම් අදහස් කියලා ඒ අය එක්ක සාකච්ඡා කරලා මම උපදේශක මණ්ඩලේ ඉඳගන්නේ. මිස්සක සෙනෙවිරත්න
 

More News..