brand logo

පෝරකය

26 January 2019

අපේ රටේ කුඩු ජාවාරම්කාරයන්ට එරෙහිව ජනාධිපති යුද ප්‍රකාශ කර තිබේ. වර්තමානයේ කුඩ්ඩන්ට එරෙහිව යුද ප්‍රකාශ කිරීම විදෙස් රටකට එරෙහිව යුද ප්‍රකාශ කිරීම බඳු වී තිබේ.
කුඩු මැඬීමට යන්නාට ජාත්‍යන්තර උපදෙස් පැතීමට සිදුව තිබේ. ජනාධිපති පිලිපීනයට ගියේ එරට කුඩු ජාවාරම්කරුවන් බිම හෙළුෑ ආකාරය ගැන අසා දැන ගැනීමටය. පිලිපීන ජනාධිපතිගේ උපදෙස් අරගෙන ක්‍රියාත්මක වීමට සූදානම් වන විට අපේ ජනාධිපතිව හේග් නුවර අපරාධ අධිකරණයට ගෙන යන්නට රාජ්‍ය නොවන අපේද  නොවන සංවිධාන හෙවත් එන්ජීඕ තප්පුලන්නට වෙති. කුඩු ජාවාරම්කාරයන්ට එරෙහිව අපේ රටේ නීතිය අනුව වැඩ කළත් එය රටකට එරෙහිව යුද ප්‍රකාශ කිරීම බඳු යැයි අප කියන්නේ ඒ නිසාය.
කුඩු ජාවාරම්කාරයන් එල්ලා මරන්නට ආණ්ඩු සූදානම් වූයේ අද ඊයේ නොවේ.
සරත් අඹේපිටිය මහාධිකරණ විනිසුරුට කුඩු ජාවාරම්කාර පාතාලයකු වූ පොට්ට නව්ෆර් විසින් වෙඩි තබා ඝාතනය කළ වකවානුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයද ගැස්සී තිගැස්සී ගියේ ය. කුඩු ජාවාරමද, පාතාලයද මඬින්නට පෝරකය ක්‍රියාත්මක කරන බව ඇයගේ ආණ්ඩුවේ සිටි අධිකරණ අමාත්‍ය ජී.එල්. පීරිස් රටට ප්‍රකාශ කළේ ය. ඊළඟට රූපවාහිනී, පත්තර කැමරා ඉදිරියේ පෝරකයේ ලීවරයට තෙල් සාත්තු කෙරිණ. එල්ලුම්ගසට අලුත් කඹයක් බ්‍රසීලයෙන් ගෙනාවේය.
මේවා පත්තරවල දකින විට ඩෙත් රෝ හෙවත් මරණ කාමරවල සිටි මරණ දඬුවම හිමි හිරකාරයන්ගේ ජම්පර්වල ලේ බඩ ගිය පුවත් වාර්තා විණ.
එල්ලා මරන්නට පෝරකය සූදානම් කිරීම මාධ්‍යවල එදා පෙන්වූයේ හරියට අධිවේගී මාර්ගයට මුල්ගල තබන තරමේ වැදගත්කමක් දෙමිනි. එහෙත්  මානව ක්‍රියාකාරීන් යැයි කියා ගන්නා අල්පයක හඬලෑම හමුවේ ඒ පෝරකයේ ලීවරය මලකඩ බැඳුනා විනා ක්‍රියාත්මක වූයේ නැත.
පෝරකය ක්‍රියාත්මක කරන බව එ්ක කරන්නට පෙරාතුව රජයක් ප්‍රකාශ කරන්නේ එය නොකරන්නටය. මරණ දඬුවම දෙන්නේ නම් ඒ සඳහා නීතිමය බාධාවකුත් නැති නම් මේ පූර්ව ප්‍රචාරය කුමකටද? මරණ දඬුවම ලැබූවකු මාධ්‍යයට ඉදිරිපත් කරන්නේ නැත. අම්මාට වුවද මරණ දඬුවම ලැබූ තැනැත්තාව දකින්නට සලස්වන්නේ සතියකට වරකි. තතු එසේ තිබියදී මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව වේලාසන ප්‍රකාශ කරන්නේ එය උත්සවාකාරයෙන් මඟුල් බෙර වයා, මංගල ගාථා කියා කළ හැකි දෙයක් නිසාද? අපට තිබෙන පූර්ව අත්දැකීම් අනුව එසේ කරන්නේ පෝරකයේ ලීවරය ඇද්දත් එයින්ද දේශපාලන වාසියක් ලබා ගැනීමට තිබෙන වුවමනාව නිසාය. පෝරකය ක්‍රියාවට නගනවා යැයි මීට මාස කීපයකට පෙර කියා තිබියදී යළි ඒ තීන්දුවේ වෙනසක් නැතැයි කීමෙන් සිදු වූයේ නිදා සිටි විරෝධතා නඩය අවදි කර ගැනීමය.
ජනාධිපතිවරයා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය ආරම්භ කරමින් මුලතිව්, මුල්ලියාවේලි විද්‍යානන්ද විදුහලේදී කුඩු මැඬීමට තිබෙන බාධා ගැනද විස්තර කළේ ය. ප්‍රධාන බාධාව ගෙනෙන්නේ එන්ජීඕ නඩය.
රටක් දුකින් මුදා ගැනීමකදී එන්ජීඕ කාරයන්ගෙන් උපකාරයක් බලාපොරොත්තු වන්නේ මොන ජාති හිතෛෂියාද? ඒ හැරත් එන්ජීඕ කාරයන්ට මේ රටේ බහුජන මතයට කළ හැකි බලපෑම කවරේද. ඒ අයගේ නල්ල මලේ මානව හිමිකම් න්‍යායන්ට යට වූයේ නම් තවමත් ප්‍රභාකරන් ජීවතුන් අතරය. ගම්දනව් කෝච්චි, බස්වල ජනතාවගෙන් බහුතරයක් මිනීවළ ගැට්ටේය.
කුඩු මට්ටු කරන්නට නම් උසාවිය, පොලිසිය නිසි මගට ගත යුතුය. කසිප්පු වේවා, කේරළ ගංජා, කුඩු කොකේන්, බාබුල් වේවා මේ කොයිදේත් ජාවාරම්කාරයාට සේම, පොලිසියටත් ආදායම් ගෙනෙන මාර්ගයක් බව අමුතුවක් නොවේ. එසේ වුවත් පොලිසි, උසාවි නිවැරදි කර ඉන් පසු පෝරකය ක්‍රියාවට නැගිය යුතු යැයි කීම දුප්පත්කම දුරලූ දවසට තොරණ ගැසිය යුතුය කීම බඳුය.
 

More News..