brand logo

පෝට් සිටි කෙටුම්පත ව්‍යවස්ථා විරෝධීයිලු

16 April 2021

පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද ‘කොළඹ වරාය නගර ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත’ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව කියා ශ්‍රේෂ්ඨාධීකරණයට පෙත්සම් පහළොවක් ඊයේ (15 වැනිදා) ගොනු කර තිබේ. අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් හා ලේකම් රජීව් අමරසූරිය, එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, එහි මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ, තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති කමල් රේණුක පෙරේරා, රාජ්‍ය නොවන සංවිධානයක් වන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු ඇතුළු පිරිසක් මෙම පෙත්සම් ගොනු කර තිබේ. ශ්‍රී ලංකා රජය සහ චීනයේ චයිනා හාබර් හවුල් ව්‍යාපාරයක් ලෙස ඉදිකෙරෙන කොළඹ වරාය නව නගර (පෝට්සිටි) ව්‍යාපෘතිය පරිපාලනය සඳහා වූ එකී පනත් කෙටුම්පත රටේ නීතියක් බවට පත්වීමට නම් පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සම්මත විය යුතු බව තීන්දු කරන්නැයි පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති. ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවට සහ ස්වෛරීත්වයට හානිවන රෙගුලාසි යෝජිත පනත් කෙටුම්පතට ඇතුළත් කර ඇති බවත් එම පෙත්සම් මගින් කියා සිටී.

පෙත්සම සලකා බලන්න පස්දෙනෙකුගේ විනිසුරු මඩුල්ලක්

කොළඹ වරාය නගර ආශ්‍රීත ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා පස් දෙනකුගෙන් යුත් විනිසුරු මඬුල්ලක් අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඊයේ (15 වැනිදා) පත් කරනු ලැබීය. මෙම පෙත්සම් එළැඹෙන 19 වැනිදා එම පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ඇත. අගවිනිසුරු, බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා විනිසුරුමඩුල්ලට අයත් වෙති. යෝජිත පනත් කෙටුම්පතේ රෙගුලාසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන්නැයි පෙත්සම්වලින් ඉල්ලා ඇත. පෙත්සම් විවෘත අධිකරණය හමුවේ කැඳවූ විට සිය නීතිඥයන් මගින් කරුණු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද පෙත්සම්වල සඳහන් වෙයි. යෝජිත පනත් කෙටුම්පතට අනුව වෙනම පාලනයක් පිහිටුවීම යනාදී වරප්‍රසාදවලින් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට හානි වන බවත් රටේ ජාතික ආරක්ෂාවට සහ ජාතික ආර්ථිකයට තර්ජන විය හැකි බවත් පෙත්සම්කරුවෝ වැඩිදුරටත් කියා සිටිති. තවද මෙම වරාය නගරයේ ඇති ඉඩම් විකිණීම බුදදීම එම ව්‍යාපෘතියේ සේවය කරන අයට වීසා අනුමත කිරීම මෙම කොමිෂන් සභාවට පැවරේ. එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 1, 2, 3, 12(i), 14(i) යන වගන්ති යෝජිත පනත් කෙටුම්පතෙන් උල්ලංඝනය වන බවට තීන්දු කරන්නැයිද පෙත්සම්වලින් ඉල්ලා තිබේ. සරත් ධර්මසේන
 

More News..