brand logo

පොහොට්ටු කාරයො අපිව කුලප්පු කරන්න හැදුවට අපි නං කුලප්පු වෙන්නෙ නෑ

02 September 2019

පසුගිය සතියේ පාලමක් විවෘත්ත කරන්නට ගිය එ.ජා.ප.යේ අමාත්‍ය කබීර් හෂීම්ට ද මෙවැනි ම ‘අකරතැබ්බයකට‘ මුහුණපෑමට සිදුවුයේ ගිනිගත්හේන අඹගමුවේ දී ය. මෙම ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකෙරුණු පාලමක් විවෘත කිරීමේ උත්සවය පසුගිය බදාදාට යෙදී තිබුණු අතර එය හදිසියේ ඊට කලින් දා සවස, එනම් අඟහරුවාදා සවස විවෘත කෙරුණි. ඒ එම ප්‍රදේශය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අතිනි. ‘‘මේ ආණ්ඩුව කිසි ලැජ්ජාවක් නැතුව, මහින්ද මහත්තයගෙ කාලෙ පටන් ගත්තු ව්‍යාපෘති තමන් කළා වගේ විවෘත කරනවා... හැබැයි අපි මුල් වෙලා හදපු අපේ ගමේ පාලම එක්සත් ජාතික පක්ෂයේ අයට විවෘත කරන්න ඉඩ තියන්නේ නෑ...’’ යැයි එහි රැස්ව සිටි ජනතාව අමතමින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පැවසුවේ ය. කෙසේවෙතත් පහුවදා, එනම් පසුගිය බදාදා එහි ගිය අමාත්‍ය කබීර් හෂීම් ‘එම පාලම ම’ නැවත වතාවක් විවෘත කළේ ය. එමෙන් ම එහිදී ඔහු ද රැස්ව සිටි පිරිස අමතමින් මෙසේ කීවේ ය. ‘‘අද විවෘත කරන්න නියමිත වුණු පාලම කලින් දවසේ විවෘත කරන එක කඩාකප්පල්කාරී වැඩක්...පොහොට්ටු කාරයො මේ වගේ වැඩ හරහා අපිව කුලප්පු කරන්න හැදුවට අපි නං කුලප්පු වෙන්නෙ නෑ...’’ එහෙත් ඇත්තෙන් ම ගතවූ මාස කිහිපයක් තිස්සේ ම, එක්සත් ජාතික පක්ෂයේ ‘අලි’ සියල්ලම හැසිරෙන්නේ, ‘කුලප්පු’ වුණු අලින්ගේ ගානට ය. ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු තෝරාගැනීම සම්බන්ධයෙන් පාර්ශ්ව දෙකකට බෙදී කුලල් කන්නට පටන්ගත් මෙම ‘අලි’ පසුගිය සඳුදා රනිල් හමුවේ පෙනී සිටියේ ය. ඒ ‘පෙර කැබිනට්ටුවේ’ ‍හෙවත් ‘ප්‍රී කැබිනට්ටුවේ’ රැස්වීමට ය. මෙහිදී ‘පක්ෂ විනය’ සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවකට මුල පිරුණු අතර ‘සජිත් පිලේ’ අය මෙන් ම ‘රනිල් පිලේ’ අය ද එහිදී ‘පොදු මතයක්’ දැරුවේ ය. එනම් ‘කුමන පිල’ක හිටියත්, එකි’නෙකාට මඩ ගැසීම සහ චෝදනා එල්ල කිරීම ‘නොකළයුතු’ බව ය. මේ අතර එසේ කරන්නන්ට එරෙහිව ‘විනය ක්‍රියාමාර්ග ගැනීම‘ සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණු අතර, මින් පෙර පක්ෂය හැර ගිය රතන හිමි, දුනේෂ් ගන්කන්ද වැනි අය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග නොගැනීම නිසා පක්ෂයේ විනය මේ තරමට ‘පිරිහුණු’ බව ප්‍රකාශ විය.
 

More News..