brand logo

පොහොට්ටුවේ මන්ත්‍රී උපුල් හේරත් රු. ලක්ෂ 05 බැගින් ශරීර ඇප දෙකක් මත මුදාහැරේ

07 August 2019

නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රී උපුල් හේරත් යන අයව රුපියල් ලක්ෂ 05 බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මාරවිල දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා 07 වැනිදා දහවල් නියෝග කළේය. පසුගිය මැයි මස 13 වැනිදා මාරවිල අධිකරණ බල ප්‍රදේශයේ තුම්මෝදර, කොට්ටරාමුල්ල සහ මොරකැලේ යන ප්‍රදේශ වල සිදුවූ කලහකාරී සිදුවීම් වලට නායකත්වය ලබා දී ඇත්තේ සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විසින් බවට කොස්වත්ත පොලීසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.මෙම සිදුවීමෙන් අනතුරුව සැකකාර මන්ත්‍රීවරයා නවසීලන්තය බලා ගොස් තිබුණි. නැවත දිවයිනට පැමිණීමෙන් අනතුරුව තම නීතිඥයින් මගින් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කිරීමට සැකකාර මන්ත්‍රීවරයා කටයුතු කර තිබුණි.ඒ අනුව ඔහු පසුගිය 24 වැනිදා දහවල් මාරවිල අධිකරණය වෙත ඉදිරිපත් විය. සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මැයි මස13 වැනිදා සිදුවූ කිසිදු සිදුවීමට සම්බන්ධයක් නොමැති බවත්,ඔහු එම ස්ථාන වල රැදී නොසිටි බවත් නීතිඥයින් අධිකරණය හමුවේ පසුගිය 24 වැනිදා කියා සිටියේය. පාස්කු ප්‍රහාරයෙන් පසුව මාරවිල අධිකරණ බල ප්‍රදේශයට අයත් තුම්මෝදර, කොට්ටරාමුල්ල සහ මොරකැලේ යන ප්‍රදේශ වල සිදුවීම් 27 ක් සම්බන්ධයෙන් තමන්ට වාර්තා වී ඇති බවත්,පොලීසිය පවසන ආකාරයට එම කටයුතු වලට නායකත්වය දුන් අයට ඇප ලබා දෙන්නේ කුමන පදනමක් මතදැයි දිසා විනිසුරුවරයා විවෘත අධිකරණයේදී ප්‍රශ්ණ කර සිටියේය.මෙම සිදුවීම් වලදී මිනිස් ඝාතනයක්, නිවාස ගිනි තැබීම් ,දේපල වලට හානි සිදු කිරීම්ද වාර්තා වී ඇති බවද දිසා විනිසුරුවරයා විවෘත අධිකරණයේදී කියා සිටියේය. සැකකාර මන්ත්‍රීවරයා රටෙන් පලා යාමක් කර නොමැති බවත්,නවසීලන්තයේ ජීවත් වන තම බිරිද සහ දරුවන් දැක බලා ගැනීම සදහා ඔහු එහි ගොස් ඇති බවත්,එම කාලවකවානුවේදී සැකකරු වෛද්‍ය ප්‍රතිකාර ලබා ඇති බවද නීතිඥයින් අධිකරණය හමුවේ කියා සිටියේය. බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකාර මන්ත්‍රීවරයාව 07 වැනිදා දහවල් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි.එම අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලලන්ද සරත්චන්ද්‍ර මහතා ඇතුළු නීතිඥ මණ්ඩලය සැකකරුට ඇප ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.ඒ අනුව සැකකරුට ඇප නියම කළ දිසා විනිසුරුවරයා මෙම නඩුව ලබන 24 වැනිදා නැවත කැදවීමට නියෝග කළේය. ජුඩ් සමන්ත
 

More News..