brand logo

පොහොට්ටුවෙන් විශේෂ මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයක්

17 January 2019

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය නමින් විශේෂ ඒකකයක් පසුගිය දා විවෘත කෙරිණ. බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ස්ථාපිත කර ඇති මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය 43-1/1, බෝධිරාජ මාවත, ජයන්තිපුර, බත්තරමුල්ල යන ලිපිනයෙහි පිහිටා ඇත. දේශපාලන පක්ෂයක් විසින් මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සාමාන්‍යයෙන් සිදු වන්නේ නිශ්චිත මැතිවරණ කාලසීමාවකට අදාළව පමණි. නමුත් මේ මොහොතේ රට හමුවේ පවතින විශේෂ දේශපාලනික තත්වයන් කිහිපයක් සැලකිල්ලට ගනිමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටුවීමට කටයුතු කර ඇත. මැතිවරණ කල්දැමීමට එරෙහිව ක‍්‍රියාකරමින් ජනතාවගේ ඡුන්ද අයිතිය වෙනුවෙන් සක‍්‍රීය ලෙස මැදිහත් වීමද මෙම මෙහෙයුම් මධ්‍යස්ථානයේ කාර්යභාරයකි. ඒ අනුව කල්දමා ඇති පළාත් සභා මැතිවරණය දිනා ගැනීම සඳහා වඩාත් විධිමත් වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීමටද නියමිතයි. ඊට සමගාමීව කල්දමා ඇති මැතිවරණ කඩිනමින් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් ගන්නා සියලූ ක‍්‍රියාමාර්ග හමුවේ සහාය සංවිධානයක් ලෙස කටයුතු කිරීමටද සාධාරණ මැතිවරණයක් සදහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අපේක්ෂා කරයි. එමෙන්ම වර්තමාන රජය යටතේ සිදු කරන බරපතල දේශපාලන පලිගැනීම් කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කරමින් වින්දිතයන් සඳහා යුක්තිය ඉටු කිරීමට මැදිහත් වීමද මෙම ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ තවත් වැදගත් කාර්යභාරයක් එන අතර රාජ්‍ය ආයතන තුළ සේවකයන් සේවයෙන් පහකිරීමේ සිට අසාධාරණ ලෙස ස්ථාන මාරුවීම් ලබාදීම දක්වා දරුණු දේශපාලන පලිගැනීම් මේ වන විට විශාල වශයෙන් සිදු වෙමින් පැවතීම මීට හේතුව බව ඔවුන් පෙන්වා දෙයි.
 

More News..