brand logo

පොහොට්ටුවට බැඳී ගෝඨාව මරන්නට ආ අයියර්

01 April 2019

‘‘කුගන් සාමි’’ හෙවත් ‘‘කනපති කදිරවේලි’’ යනු එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර ජාලය විසින් දකුණේ දේශපාලනඥයන් පාලනය කිරීම සඳහා යොදාගත් අලුත්ම තුරුම්පුවයි. ජාත්‍යන්තර කොටි ජාලයේ අවශ්‍යතාවට ‘‘කුගන් සාමි’’ නමැති හින්දු පූජකවරයා (අයියර්) එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන් හා එක්වෙමින් කළ සැලසුමක් අනාවරණය වන්නේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය හා රාජ්‍ය ඔත්තු සේවය (SIS) එක්ව කළ සාර්ථක බුද්ධි මෙහෙයුමකින්ය. කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් රටම මුදාගෙන දස වසරක් පිරෙද්දී නිද්‍රාශීලී කොටි ත්‍රස්තයන් ඇහැරවන්නට උත්සාහ ගත් හත්වැනි අවස්ථාව එළියට එන්නේ කුගන් සාමි කරළියට ඒමේ සිද්ධියත් සමගිනි ඔඩ්ඩුසුඩාන්, පුලියන්කුලම් යන ප්‍රදේශවලින් අවි ආයුධ හමුවීම්, චාවකච්චේරියෙන් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල හමුවීම, ගෝපි, අප්පන් තේවියන්ගේ කණ්ඩායම් හිස එසවීම ඇතුළු සිදුවීම් ගණනාවක් ඊට පෙර වාර්තා වී තිබිණ. කුගන් සාමිවරයාගෙන් හෙළි වූ අලුත්ම කොටි සැලසුම වන්නේ අයියර්ව පොහොට්ටුව නියෝජනය කරන පොදුජන පෙරමුණට දේශපාලනිකව බද්ධකර ප්‍රභූ ඝාතනයන් සඳහා සැලසුම් සකස් කිරීමය. ඊ.පී.ඩී.පී. පක්ෂයෙන් දේශපාලනයට පිවිසි කුගන් සාමි නමැති පූජකයා, විග්නේෂ්වරන් උතුරේ මහ ඇමැති වෙද්දී දෙමළ සන්ධාන ඡන්ද කැඩීමට ස්වාධීනව ඡන්දයට පිවිසුණු අයෙකි. අපචාර සිද්ධීන් හා වංචාව සම්බනධයෙන් වැලිකඩ සිරගතව සිටියදී කුගන් සාමි අයියර්ට, වේන්දන් (අප්පන්) හා කාර්තික් යන කොටි ක්‍රියාකාරීන් මුණ ගැසීම ඔහුට එල්.ටී.ටී.ඊ.ය සමග සබඳතා ඇරඹීමට පදනම වන්නේය. අයියර් අත්අඩංගුවට ගන්නා මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය ඔත්තු සේවාව හා කොළඹ අපරාධ කොට්ඨාසය එක්වය. අයියර් අත්අඩංගුවට ගන්නට පෙර එම කණ්ඩායමේ ප්‍රබලයා වන වේන්ද්‍රන් හෙවත් අප්පන් කොටු කරන්නේ මන්නාරමේදීය. ඒ පෙබරවාරි 28 දාය. අප්පන් අල්ලන්නට දින තුනකට කලින් (25) ආරක්ෂක අංශ කිළිනොච්චිය, වට්ටකච්චි නිවසකදී අල්ලාගත් රූබි හෙවත් කල්‍යානිකුමාරි ශෂිකලා මාර්ගයෙන් කිලෝ දහයක ක්ලේමෝ බෝම්බයක්ද සොයා ගත්තේය. අප්පන්ගේ තොරතුරු මත වේයන්ගොඩදී අල්ලාගත් කොටින්ගේ පිස්ටල් මාස්ටර්වරයකු බව කියන වීරා දකුණේ ඝාතන සඳහාද ඒ වන විටත් යොදාගෙන තිබුණේය. 2017 ජනවාරි 05 දා පාතාල කල්ලිවල කොන්ත්‍රාත් ඝාතනයකටද වීරා නමැති කොටි පිස්තෝලකරු යොදාගෙන ඇත්තේ අංගොඩදී රත්තරන් නමැති අයෙක් ඝාතනය කරන්නටය. කඩුවෙල සමයංගේ කල්ලියට සම්බන්ධ ගොත අසංකලාගේ අවශ්‍යතාවට රත්තරන් ඝාතනය කරන්නේ පාතාල නායක අංගොඩ ලොක්කාගෙන් පළිගන්නටය. අතුරුගිරියේ සැලූන් එකකදී අංගොඩ ලොක්කාගේ කල්ලියේ සිටි අතුරුගිරියේ බණ්ඩාට සැලූන් මංජුලාගේ සහායෙන් වෙඩි තබන්නට වීරා හා අප්පන් යොදවන්නේ ඒ වන විට ජීවතුන් අතර සිටි කඩුවෙල සමයංය. කළුතර එතනමඩලදී මාකඳුරේ මධුෂ්ගේ සහාය ඇතිව අංගොඩ ලොක්කා කල්ලිය බන්ධනාගාර බස් රථයට පහරදී සමයං ඇතුළු පිරිසක් ඝාතනය කරන්නේත් රත්තරන් හා බණ්ඩාගේ ඝාතනවල පළිය ගන්නටය. මේ ආකාරයට දකුණේ පාතාල කල්ලි අතරට එල්.ටී.ටී.ඊ. යේ අවි ආයුධ හා වෙඩික්කරුවන් රිංගන්නේ කොටි ජාත්‍යන්තර ජාලයේ දීර්ඝකාලීන සැලසුමක් මතය. එම සැලසුමට අනුව දකුණට අවි ආයුධ රැගෙන යාම හා යුද සමයේ කොටි ත්‍රස්තයන් වළ දැමූ අවි ආයුධ එක් රැස් කිරීම ඩයස්පෝරාව විවිධ කණ්ඩායම්වලට පවරා තිබුණේය. මෙම කල්ලිය මෙහෙයවීම භාරදී තිබුණේ ඉන්දියාවේ සිට පැමිණි ආනන්ද රාසා හා ශංකර්ටය. කුගන් සාමි නමැති අයියර් පැමිණියේත් ඉන්දියාවේ සිටය. කුගන් සාමිට වේන්ද්‍රන් යළි මුණගස්සවන්නේ ඔවුන් සමග සිරගතව සිටියදී හඳුනාගත් කාර්තික්ය. කාර්තික් කොටි සංවිධානයේ නිද්‍රාශීලී ත්‍රස්තයන් නැගිට්ටවන මෙහෙයුමට ආනන්ද රාසා හා ශංකර් සමග එක්වූ කොටි ත්‍රස්තයකු වන්නේය. මෙවර වැඩිම බර යොදන්නේ අප්පන් හා අයියර්ටය. ප්‍රැන්සිස් සේවියර් ජොන්සන් ඩඩ්ලි හෙවත් අප්පන් නෙරන්ජන් හා වේන්ද්‍රන් නමින්ද පෙනී සිටි අයෙකි. අප්පන්ගේ ළඟම සගයා කඩුවෙල පාතාලයට සම්බන්ධ විත්තා හෙවත් විදුරංගය. අප්පන් තමාට විත්තාගේ ඇති හිතවත්කම නිසාම බිරිඳගේ, මවගේ නමට අමතරව විත්තාගේ නම පවා අතක කොටාගෙන තිබුණේය. එසේ පච්ච කොටනු ලබන්නේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිරබත් කද්දී දෙමටගොඩ චමින්ද, අප්පන්ට ගහන්නට යද්දී බේරාගෙන ඇත්තේ විත්තා නිසාය. අප්පන්, විත්තා මාර්ගයෙන් ගණේමුල්ල සංජීවගේ පාතාල කණ්ඩායම සමග සබඳතා ඇති කරගෙන උතුරට ‘‘අයිස්’’ ඇතුළු මත්ද්‍රව්‍ය විකුණන ජාවාරමක්ද පවත්වාගෙන ගොස් තිබුණේය. උතුරෙන් හා වන්නියෙන් ගොඩගන්නා අවි ආයුධ දකුණට රැගෙනවිත් ගණේමුල්ල සංජීව හා විත්තාට ලබා දෙන්නේ මුදල්වලටය. දැනට ඇති තොරතුරුවලට අනුව ඉදිරි ප්‍රයෝජන සඳහා ගිනි අවි විස්සක් සංජීවට ලබාදී ගොත අසංකගේ පාතාල කණ්ඩායමටත් රුපියල් ලක්ෂ දෙකහමාරකට අවි ආයුධ දෙන අතරේ විත්තාටත් මයික්‍රෝ පිස්තෝලයක් ද දී ඇත්තේ අප්පන්ගේ හිතවත්කමටය. අප්පන් උතුරේ අවි ආයුධ එක්රැස් කර පාතාලය හා බෙදන ජාවාරමට අමතරව යුරෝපා රටවලට දෙමළ ජාතිකයන් මුහුදෙන් පටවන ජාවාරමද කලක් තිස්සේම කරගෙන ගොස් තිබුණේය. නාවික හමුදාවේ හා පොලිසියේ නිලධාරීන් පවා අප්පන්ගේ මිතුරන් කරගෙන තිබුණේ මෙම ජාවාරම්වලටය. අප්පන් එක් ඉලක්කයක් කරා යද්දී කුගන් සාමි නමැති අයියර්ට පැවරී තිබුණේ පොදුජන පෙරමුණට එක්වී ඉදිරි ඉලක්කයක් සඳහා පිරිස සූදානම් කරවීමටය. භයානකම තත්ත්වය මෙය විය. කොටි ජාත්‍යන්තර ජාලය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව ඝාතනය කරන්නට වූ සැලසුමක් ඔඩ්ඩුසුඩාන්වලදී පසුගිය වසරේ ජුනි 22 දා අවි ආයුධ සමග අල්ලාගත් කොටි ත්‍රස්තයන් සම්බන්ධ කළ විමර්ශනවලදී අනාවරණය විය. ජාතික ආරක්ෂක කවුන්සිලයේදී පවා ඔඩ්ඩුසුඩාන්හි කොටි හිස එසවීම කල්තියා හෙළි කර තිබුණද යහපාලන රජය සංහිඳියාව ඉදිරියට දමා කොටි හිස එසවීම යට ගැසීම භාරදුන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාස ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාටය. එල්.ටී.ටී.ඊය ප්‍රතිසංවිධානය වීමක් නොමැති බවත් හමුදා බුද්ධි අංශය රාජපක්ෂවරුන්ගේ වුවමනාවට මෙවැන්නක් නිර්මාණය කරන බවත් කියමින් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා, ජාතික ආරක්ෂක කවුන්සිලය නොමග යවමින් කරුණු දක්වද්දී අනෙක් බුද්ධි ප්‍රධානීන්ට මුනිවත රකින්නට සිදුවිය. නාවක්කුලි ඇතුළු උතුරේ විහාරස්ථානවලට ක්ලේමෝ බෝම්බ අටවන්නට යළි නැගිටින කොටි ත්‍රස්තයන් කළ සැලසුම් හමුදා බුද්ධි අංශ අනාවරණය කරද්දී ත්‍රස්ත විමර්ශන ලොක්කා එයත් කණපිට හැරෙව්වේය. කොටි ත්‍රස්තයන් දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් ඝාතනය කරන්නට සැලසුම් කළ බව පමණක් කරළියට ගෙන එන ත්‍රස්ත විමර්ශන ලොක්කා වග බලාගත්තේ ඔහුගේ ආරක්ෂාව තරකරන්නටය. ජාතික ආරක්ෂක කවුන්සිලය වෙත කොටි ත්‍රස්තයන්ගේ ප්‍රති සංවිධානය වීමක් නොමැති බව පුන පුනා දැක්වූ නාලක සිල්වාගේ දෙබිඩි රංගනය අවසන් වන්නේ හිරගෙදරිනි. ඒ මාකඳුරේ මධුෂ් සමග එක්ව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ව ඝාතනය කරන්නට කළ සැලසුමක් කරළියට ඒමත් සමගය. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ ජාත්‍යන්තර සැලසුම මේ සමග යළිත් අනාවරණය වූයේය. එම ඝාතන ඉලක්කය තවමත් අවසන් නොමැති බව අනාවරණය වන්නේ කුගන් සාමි නමැති අයියර් යොදා කළ ඉදිරි සැලසුම මතය. අයියර් සමග කොටි ජාත්‍යන්තර ජාලය මෙහෙයවූ කොටි ත්‍රස්තයන් ඇතුළු දොළොස් දෙනකු දැන් කොළඹට ගෙනවිත් විමර්ශන කරමින් තිබෙන්නේය. කුගන් සාමි කියන ආකාරයට ඔහු පොහොට්ටු සාමාජිකත්වය ගත් පසුව ප්‍රධාන රැස්වීම් රැසකදීම ඔහුට (පූජකයකු නිසා) මුල්පෙළේම පුටු පවා ලැබී ඇත. පසුගිය රැස්වීම්වල ප්‍රභූවරුන්ට (VIP) ලැබෙන ආසන කුගන් සාමිට ලැබී ඇත. මෙයට මුවා වී රැස්වීම්වලට පැමිණි කුගන් සාමි ජාත්‍යන්තර කොටි ජාලයේ සැලසුමට අනුව කාර්තික් නමැති කොටියාට හා අප්පන්ටත් පොහොට්ටු පක්ෂ සාමාජිකත්වය හා හැඳුනුම්පත් ලබා දී ඇත. බුද්ධි අංශවලට ඇති තොරතුරු අනුව කොටි ජාලයට සම්බන්ධ පස් දෙනකුට හැඳුනුම්පත් ලබාදී ඇත. තම සාමාජිකයන්ට හැඳුනුම්පත් පහක් සාදා දෙන්නැයි කාර්තික් ඉල්ලා සිටි බව අයියර් ප්‍රශ්න කිරීම්වලදී පිළිගත්තේය. තමා චාවකච්චේරියෙන් පළාත් පාලන ඡන්දයට පෙනී සිටියදී අප්පන් හෙවත් වේන්දන් මුදල් වියදම් කළ නිසා ඔහුට පක්ෂ සාමාජිකත්වය ලබාගෙන දුන් බව කුගන් සාමි හෙළි කරන්නේය. අප්පන්ට මුදල් ගලා එන්නේ කොටි ජාත්‍යන්තර ජාලය පසුපස සිටින දෙමළ ඩයසපෝරාවෙන්ය. බුද්ධි අංශ කළ විමර්ශනයට අනුව තහවුරු වන්නේ දීර්ඝකාලීන සැලසුමක් මත කුගන් සාමි නමැති අයියර් දේශපාලනයට එවා ඇති බවය. ඉදිරි පෙළ අසුන් ලැබෙන අයියර්, තමා විසින් පක්ෂ සාමාජිකත්වය ලබාදුන් කොටි ත්‍රස්තයන් දිගින් දිගටම රැස්වීම්වලට රැගෙන විත් ආරක්ෂක අංශවලට නිරන්තරයෙන් හුරු කරවීම සැලසුමය. දිගින් දිගටම එද්දී සැකයට පත් නොවන නිසා මොවුන් යොදවා ඡන්ද රැස්වීමකදී ප්‍රබල ඉලක්කයක් ගැනීම ජාත්‍යන්තර කොටි ජාලයේ සැලසුම වූ බව බුද්ධි අංශ අනාවරණය කරන්නේය. දැනටමත් අවි ආයුධ අවශ්‍ය තැන්වල සඟවන අතරේ අලුත්ම සැලසුමට අනුව කොටින්ගේ වෙඩික්කරුවන් දකුණේ පාතාල කණ්ඩායම්වලට රිංගවා තිබේ. දකුණේ පාතාල කණ්ඩායම්වලට අවි ආයුධද ලබාදී හමාරය. ඉදිරියේදී කොටින්ගේ අවශ්‍ය ප්‍රභූ ඝාතන ඉලක්කවලට පාතාලය එක්කර ගැනීමේ සම්භාවිතාව වැඩි බව බුද්ධි අංශද කියන්නේය. බුද්ධි අංශ සැකකරන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉදිරි ජනපතිවරණයට ඡන්ද වේදිකාවට එද්දී ඉලක්කයක් ගැනීම ඔවුන්ගේ සැලසුම විය හැකි බවය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජීවිත තර්ජනය පහව ගොස් නොමැති බවය බුද්ධි අංශ අනතුරු හඟවන්නේත් මේ නිසාය. ඉදිරියේදී ඡන්ද රැස්වීම්වලදී මෙම ප්‍රභූවරුන් ජනතාව අතරට යද්දී ඉලක්ක ගැනීමට මේ කියන පාතාල කොටි සෙවණැලි උත්සාහ ගත හැකි බව බුද්ධි අංශවල සැකය වී තිබේ. දැනට අත්අඩංගුවේ සිටින අයියර් කියන්නේ ඩයස්පෝරාවේ කීමට සුමන්තිරන් ඝාතනයට ඔත්තු බැලූ වගය. ඝාතනය සැලසුම කෙසේද යන්න ඔහු කියන්නේ නැත. අසු වූ කණ්ඩායම් කිහිපයක්ම සුමන්තිරන් ඝාතන තැතක් ගැන කියන්නේය. ඔත්තු බැලූ බවද කියන්නේය. සුමන්තිරන් ඉදිරියට දමා වෙනත් ඉලක්කයක් ගැනීම මොවුන්ගේ අරමුණ විය හැකි බවට බුද්ධි අංශ සැකකරයි. සුමන්තිරන් ඝාතනය කරන්නට අප්පන්ලා, ‍‍ගොත අසංකලා, අයියර්ලා වැල්ලවත්තේ නිවස අසලත් ඔත්තු බැලූ බව කියන්නේය. මේ කියන පාතාල කොටි කල්ලි තවත් ඉලක්ක සොයා කළ සැලසුම් සියල්ල අද හෙටම හෙළිවීමට ඉඩ තිබේ. තිස්ස් රවීන්ද්‍ර පෙරේරා
 

More News..