brand logo

බෑගයක තිබී අත්බෝම්බ හා පිස්තෝල සොයාගනී

02 January 2019

වවුනියාව,පුලියන්කුලම,පූදූර් නාගතම්පිරාන් කෝවිල දක්වා වන මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු පුලියන්කුලම පොලිසිය දැක දමාගිය බෑගයක තිබි අත්බෝම්බ හතරක්,නවීන පිස්තෝලයක්,පිස්තෝල උණ්ඩ තොගයක් ඊයේ (01) රාත්‍රියේදී සොයාගෙන ඇති බව වවුනියාව ආරක්ෂක අංශ පවසයි. ආරක්ෂක අංශ පැවසූවේ පුලියන්කුලම,පුදූර් නාගතම්පිරාන් කෝවිල මාර්ගයේ නාදුනන පුද්ගලයෙකු බෑගයක් රැගෙන ගමන් කරන බවට ලද තොරතුරක් මත පුලියන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් පරීක්ෂා කිරීමක් සිදුකිරීමට යාමේදී අදාළ සැකකරු බෑගය දමා කැළෑවට පැන පළාගොස් ඇති බවයි. සොයාගත් අත්බෝම්බ එල් ටි ටි සංවිධානය නිෂ්පාදිත වර්ග‍යේ අත්බෝම්බ වන බවද පොලිසිය මූලික විමර්ශනයන්ගෙන් අනාවරණය‍ කොටගෙන ඇති අතර, සොයාගත් පිස්තෝලය හා පතුරම් ඉතා නවීන තත්ව‍යේ පවතින බවද ආරක්ෂක අංශ පැවසූහ. සැකකරුගේ ගමන්මල්ල තුළ වේදනානාශක බෙහෙත්පෙති,දත් බුරුසුවක්,දත් බෙහෙත් හා සරම් කිහිපයක් තිබි ඇති බවද ආරක්ෂක අංශ පැවසීය. සැකකරු සොයා පුලියන්කුලම පොලිස් නිළධාරීන්,පුලියන්කුලම පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන්,යුධ හමුදා නිළධාරීන් පරීක්ෂණයක් පවත්වයි. පූදුර් ප්‍රදේශය ආශ්‍රිත කැළෑව තුළ පැරණි එල් ටි ටි කදවුරු පැවති බව ආරක්ෂක අංශ පවසති. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..