brand logo

පොලිසිය ඉන්නේ මන්ත්‍රීලගෙ ෆයිල් උස්සන් යන්න නොවේ

24 September 2020

මන්ත්‍රී ආරක්ෂාව සඳහා දැනට ලබාදී සිටින පොලිස් නිලධාරීන් දෙදෙනාට අමතරව වෙන කිසිම පොලිස් නිලධාරියකු ලබා නොදෙන බව අභ්‍යන්තර ආරක්ෂාව භාර රාජ්‍ය ඇමැති සහ වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂ ඊයේ (23 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිසියේ නිලධාරීන් හතරදෙනා දක්වා අඩුකර ඇතැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී බුද්ධික පතිරණ ඉල්ලා සිටි අවස්ථාවේදීය. නිතර කුඩු සහ පාතලයට එරෙහිව කතා කරන තමා වැනි මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව අඩුකර ඇතැයිද එය මන්ත්‍රීවරුන් 225ටම කළ තර්ජනයක් බවද බුද්ධික මන්ත්‍රීවරයා කීවේය. ඊට පිළිතුරු දුන් ඇමැති චමල් රාජපක්ෂ, රාජකාරි කටයුතුවලට පොලිසියේ සිටින්නේ අසූපන් දහසක් පමණක් බවයි. ඉන් තිස් අටදහසක් මන්ත්‍රී ආරක්ෂාවට යොදවා තිබෙනවා යැයිද පැවැසුවේය. ‘මන්ත්‍රීවරුන් පොලිසියේ ආරක්ෂාව ඉල්ලා සිටින්නේ මහජනතාව කෙරෙහි විශ්වාසයක් නොමැති නිසා එබැවින් මන්ත්‍රීවරුන්ගේ ෆයිල් උස්සාගෙන යන්න, බෑග් අරගෙන යන්න පොලිසියේ අය දෙන්නේ නැහැ.’ ‘අපි මන්ත්‍රීවරුන්ට පමණක් නොවේ මුළු රටටම ආරක්ෂාව දෙන්නම්. මන්ත්‍රීවරුන්ට තවත් පොලිස් ආරක්ෂාව දෙන්නෑ. 1989දී මන්ත්‍රීවරුන්ට කැමැති පස් දෙනෙක් බඳවා ගන්න අවස්ථාව දුන්නා උප සේවා පොලිස් සේවයට. ඒ එදා වාතාවරණය අනුව. එල්.ටී.ටී.ඊ. නිසා තව දෙදෙනෙක් හෝ තුන් දෙනෙක් දුන්නා. දැන් හතර දෙනා දෙදෙනෙක් කර තිබෙනවා. අද සමහර පොලිස් කොට්ඨාසවල ආරක්ෂ රාජකාරී කරන්න පොලිස් නිලධාරීන් නැහැ. දැන් අවශ්‍ය මන්ත්‍රීවරුන්ට පොලිස් නිලධාරීන් දීමද නැත්නම් මහජනතාවගේ ආරක්ෂාව සැලසීමද, ජනතාවගේ ආරක්ෂාව වටින්නේ නැද්ද? එහෙමනම් අලුතින් බඳවාගත යුතුයි. නැත්නම් මන්ත්‍රීවරුන් කැමැති කෙනෙක් දෙන්නම් අරවාට මේවාට පාවිච්චි කරන්න. ​​‘මේ අවස්ථාවේදී නැගී සිටි සමගි ජන බලවේගයේ’ තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා ප්‍රකාශයක් කරමින් හිටපු මහ ඇමැතිවරුන්ට තනතුරු අහිමිව තිබියදී පොලිසියේ හය දෙනෙක්, හත් දෙනෙක් ආරක්ෂාවට යොදවා තිබෙනවා. ආණ්ඩු පක්ෂයේ පසුපෙළ අසුන්වල සිටින හිටපු ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ටද පොලිසියේ හයදෙනෙක්, හත්දෙනෙක් ආරක්ෂාවට ලබාදීලා.’ ‘හිටපු අගමැතිවරයාට පොලිසියේ දෙසීයක් දෙනවා. ඒත් විපක්ෂ නායකවරයාගේ ආරක්ෂාව අඩුකරන්න නියෝග ඇවිත්. අපි පොලිසියේ හතර දෙනෙකුගේ ආරක්ෂාවට පුරුදු වී හිටියා. දැන් දෙදෙනෙක් දක්වා අඩු කරලා. මේක කොතරම් සාධාරණදැයි’ කථානායකවරයාගෙන් විමසා සිටියේය.   අජිත් අලහකෝන්
 

More News..