brand logo

පොලිස් සාත්තු සේවිකාවට වංචා කළ පෙම්වතා සපත්තු ලේසයකින් ගෙල වැලලාගෙන

26 June 2020

නාරාහේන්පිට පොලිසි සැරමැදිරියේ සිටි සැකකරුවකු පෙරේදා (24දා) සිය සපත්තුවේ ලේස් පටියෙන් ගෙලවැලලාගෙන සියදිවි හානිකොට ගෙන ඇත. මෙලෙස සියදිවි හානිකොටගෙන ඇත්තේ හංවැල්ල ලියනගේ රුවන් නිශාන්ත නමැති කිතුල්ගල වැල්පලන වත්ත මල්වත්ත ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකි. මෙම පුද්ගලයා පොලිස් රෝහලෙහි සේවය කරන සාත්තු සේවිකාවක් සමග පෙමින් වෙලී සිට ඇත. ඇය පානදුර පදිංචිකාරිනියකි. අවන්හලක සේවය කළ බව කියන මෙම මියගිය පුද්ගලයා සිය පෙම්වතියගෙන් මුදල් ඉල්ලා තිබේ. ඒ අනුව මුලින්ම ඇය මෙම පුද්ගලයාට රුපියල් දස දහසක් ලබා දී ඇත. පසුව ඇය සිය බැංකු කාඩ් පත හා එහි රහස් අංකයද ඔහුට ලබා දී ඇත. මිය ගිය අය ඇයට හොර රහසේ දස වතාවත් පමණ ඇගේ ගිණුමෙන් මුදල් රැගෙන තිබේ. දෙදෙනා අතර මේ සම්බන්ධයෙන් බහින් බස්වීමක්ද සිදු වී තිබේ. පසුගිය දිනක මියගිය තැනැත්තා මෙම තරුණිය හමුවීමට නාරාහේන්පිට පොලිස් රෝහල අසලට පැමිණ තිබේ. එම අවස්ථාවේ දී ඇය නාරාහේන්පිට පොලිසියට සිද්ධිය දැනුම් දී මේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව සවස හතරට පමණ අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරු රාත්‍රි නවයට පමණ සිරමැදිරිය පරීක්ෂා කරන අවස්ථාවේ ගෙල වැලලාගෙන මියගොස් සිට ඇති බව නාරාහේන්පිට පොලිසිය පවසයි. හේමන්ත ලියනපතිරණ
 

More News..