brand logo

පොලිස් ලොක්කෝ 27කට මාරුවීම්

21 September 2020

ජ්‍යෙෂ්ඨ නි​යෝජ්‍ය පොලිස්පතිවරුන් සිව්දෙනකු, නියෝජ්‍ය පොලිස්පතිවරුන් 11 දෙනකු ඇතුළුව පොලිසියේ උසස් නිලධාරීන් විසිපස් දෙනකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පති හා අධ්‍යක්ෂවරයාද මාරු කර ඇත. නියෝජ්‍ය පොලිස්පති පී. කේ. ජේ. අපොන්සු හා එහි අධ්‍යක්ෂව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් වෙදමුල්ල එම තනතුරට පත්කරනු ලැබුවේ ඉකුත් ජුනි මස මුල් සතියේය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරින් මත් කුඩු ජාවාරම්වලට හසුවීමත් සමග ඉහළ පුටු වෙනස් කර මෙම පත්කිරීම් කර තිබිණි. මේ සතියේ සිට නියෝජ්‍ය පොලිස්පති උපාලි ජයසිංහ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය භාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, නව අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත විජේසේකරත් පත්කර ඇත. පොලිස් ඉතිහාසයේ පළමු වරට පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරට කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මදාරා ආරියසේන පත්කර ඇත. පොලිසියේ අධ්‍යක්ෂ තනතුරක් කාන්තා නිලධාරිනියකට ලැබුණු දෙවැනි වතාව මෙය වේ. මේ අනුව පොලිස් රෝහලත් ඇය යටතට පත්වේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න උතුරු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්කර ඇත. ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එෆ්. යූ. ප්‍රනාන්දු පොලිස් මූලස්ථානයටත්, ජ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මධ්‍යම පළාත භාරවත් පත්කර ඇත. උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ඒ. මුණසිංහ විශ්‍රාම ගැනීමට නියමිත හෙයින් පොලිස් මූලස්ථානයට අනුයුක්ත කර ඇත. මීට අමතරව නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට සංචාරක දිසාව භාරවත්, නියෝජ්‍ය පොලිස්පති සම්පත් කුමාර කිලිනොච්චියේ සිට පුහුණු හා සේවස්ථ පුහුණු දිසාව භාරවත්, නියෝජ්‍ය පොලිස්පති ඩී. ආර්. විජේසිංහ බදුල්ල භාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, නියෝජ්‍ය පොලිස්පති එල්. විජේසේන ප්‍රවර්ධන දිසාව භාරවත්, නියෝජ්‍ය පොලිස්පති එන්. වීරසේකර කිලිනොච්චි භාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, නියෝජ්‍ය පොලිස්පති වී. කේ. පී. අපොන්සු දුක්ගැනවිලි දිසාව භාරවත්, නියෝජ්‍ය පොලිස්පති එල්. ඒ. සෙනෙවිරත්න වන්නි දිසාව භාරවත්, නියෝජ්‍ය පොලිස්පති යූ. වී. ගුණරත්න මාධ්‍ය දිසාව භාරවත්, නියෝජ්‍ය පොලිස්පති කේ. ඩී. ප්‍රියන්ත කළුතර දිසාව භාරවත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ. පී. නැව්ගලගේ ඇමැති ආරක්ෂක කොට්ඨාසය වෙතත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආර්. එන්. රාජපක්ෂ පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී. ලියනගේ උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙසත්, පොලිස් අධිකාරී ටී. බී. විජේසුන්දර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එන්. ටී. කුමාර කොළඹ මධ්‍යම කොට්ඨාසය භාරවත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ. බී. ගුණතිලක කිලිනොච්චිය කොට්ඨාසය භාරවත් පත්කර ඇත. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආර්. ජේ. රෝහණ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ සිට නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙසත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී. ජේ. සේරම් තෙල්දෙණිය කොට්ඨාසය භාරවත් පත්කර ඇත. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..