brand logo

පොලිස් නිලධාරීන් 60කට කොවිඩ්

31 October 2020

පොලිස් නිලධාරීන් 60 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස අද (31) උදෑසන වන විට හඳුනාගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. පොලිස් නිලධාරීන් 400කට අධික පිරිසක් ඍජු නිරෝධායනයට යොමුකර ඇති අතර තවත් පොලිස් නිලධාරීන් 1100ක පමණ ප්‍රමාණයක් එම බැරැක්ක තුළම නිරෝධායනය කර ඇතැයි ඒ මහතා පැවසීය. පෑලියගොඩ කොරෝනා පොකුරත් සමඟ පොලිස් නිලධාරීන්ට වෛරසට ආසාදනය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි. "මේකත් ඇති වුණේ මුලින්ම පෑලියගොඩ පොකුරත් එක්ක. හේතුව මුලින්ම මේ රෝගය වැළඳුනේ අපේ භෝජනාගාර පාලකවරුන්ට, පොලිස් ස්ථානවල ඉන්න පොලිස් කොස්තාපල්, සැරයන්, ශ්‍රේණිවල අය පෑලියගොඩට ගිහින් තිබුණා මාළු මිලදී ගන්න. ඒ ඒ පොලිස් භෝජනාගාරවලට. ඒකෙන් තමයි මේ ව්‍යාප්තිය වුණේ. නැතුව රාජකාරිය කරන පොලිස් නිලධාරීන්ට එහෙම වැළඳුනේ නෑ. එයාලට උපකරණ දීලා තිබුණා මුලින්ම. පාරේ ඉන්න කාටවත් වැළඳුනේ නෑ මේක මුලින්ම" යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි. ආසාදිතයන් හමුවූ පොලිස් ස්ථාන සියල්ලම නිසි පරිදි විෂබීජහරණයට ලක් කිරීමෙන් පසු සේවා සැපයීම අඛණ්ඩව සිදුකරන අතර, මහජනතාව පොලිස් ස්ථාන වෙත පැමිණීමට අනියත බියක් ඇති කර ගත යුතු නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරයි.
 

More News..