brand logo

පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතන අත්අඩංගුවට ගත් කොටින් දෙදෙනාගේ වැඩක් - කාරණා රැසක් හෙළිවේ

08 December 2018

මඩකලපුව වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කර ඇත්තේ දැනට අත්අඩංගුවට ගෙන සිටින කොටි සංවිධානයේ හිටපු බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනාම බවට වැදගත් සාක්ෂි රැසක් ලබාදුන් බවට තොරතුරු වාර්තා වේ. සිද්ධිය වූ පසුගිය 30 වැනි දිනට වව්නතිව් ප්‍රදේශයේ පදිංචි අජන්තන් නමැති අය අත්අඩංගුවට ගත් අතර ඊට පසුදින කිලිනොච්චි වට්ටකච්චි ප්‍රදේශයේ පදිංචි රාසනාගම් සර්වනන්දන් හෙවත් ඉමයන් අත්අඩංගුවට ගත්තේය. අජන්තන්ගේ නිවසට යන මාර්ගයේ තිබූ ආරක්ෂක කැමරා පද්ධතියක (සී.සී.ටී.වී.) යතුරුපැදියකින් ගමන් කරන දෙදෙනකු ගැන සටහන්ව තිබී සොයාගෙන ඇත. ඊට අමතරව අජන්තන්ගේ නිවසට කිලෝමීටර් එකහමාරක් පමණ දුරක පිහිටි මාර්ගය ආසන්නයේ ලඳු කැලෑවකට විසිකර තිබූ කබායක් හා බෑගයක් බුද්ධි අංශ නිලධාරීන් සොයාගෙන තිබේ. එය අත්අඩංගුවට ගත් අජන්තන් නමැත්තාගේ බවට සැක මතුවී ඇත. එසේ සොයා ගත් කබාය හා බෑගය රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට නියමිතය. මඩකලපුව ප්‍රදේශයේ ස්ථාන 150ක මහවිරු සැමරුම් උත්සව පැවැත්වීමට ඉඩ ලබා නොදීම නිසා මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට සැක කරන අතර මහවිරු සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණ ඇත්තේ දැනට අත්අඩංගුවේ සිටින කිලිනොච්චියේ රාසනාගම් හෙවත් ඉමයන් නමැති අය බවද හෙළි කර ගෙන තිබේ.
 

More News..