brand logo

පොලිස් කොස්තාපල්වරයෙකු කළ වැරදි වැඩේ

30 October 2021

ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී සියල්ල හසුවේ

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකුව STF නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (29) සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී කේරළ ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර තිබුණි. වැලිකඩ පොලිස් වසමේ ජනාධිපති විද්‍යාල මාවත, පොල්වත්ත යන ප්‍රදේශයේදී සිදුකළ පළමු වැටලීමේදී කේරළ ගංජා ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 600ක් ළඟ තබාගෙන සිටි 42 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සතුව තිබූ ජංගම දුරකථනයේ සටහන්ව තිබූ ඇමතුමක් පරීක්ෂා කිරීමේ දී හා ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමේ දී සැකකරු විසින් සිදුකරන ලද ප්‍රකාශයකට අනුව දෙවැනි වැටලීම සිදුකර ඇත. එහිදී අදාළ ඇමතුම ලැබී ඇත්තේ වැලිකඩ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරනු ලබන නිලධාරියෙකුගෙන් බවට කරුණු අනාවරණය වී තිබේ. වැඩිදුර සොයාබැලීමේදී ඔහු 119 හදිසි ඇමතුම් අංශයට අනුයුක්තව රාජකාරීයේ නියුතු නිලධාරියෙකු බවට වාර්තා වී ඇත. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයේ නිලධාරීන් පොලිස් කොස්තාපල්වරයා රාජකාරියේ යෙදී සිටි නාවල පාරේ අදාළ ස්ථානයට ගොස් ඔහුව හදිසි සෝදිසියකට ලක්කර තිබුණි. එහිදී නිලඇඳුමින් සැරසී සිටි අදාළ නිලධාරියා සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 540ක ප්‍රමාණයක් සොයාගෙන ඇත. ඔහු සතුව රාජකාරී රිවෝල්වරයක්, මිලිමීටර් 3.8 වර්ගයේ උණ්ඩ 5ක් ද තිබී ඇත. සැකකාර නිලධාරියා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා වැලිකඩ පොලීසියට භාර දී තිබේ.
 

More News..