brand logo

පොලිස් උසස්වීම් ලබාදීමේදී ස්ථානාධිපතිවරු 75%කට අසාධාරණයක්

21 September 2019

පොලිස් දෙපාර්තමේන්තුව උසස්වීම් ලබාදීමේදී අනුගමනය කළ ක්‍රමවේදය නිසා පොලිස් ස්ථානාධිපතිවරුන් සියයට හැත්තෑ පහකට පමණ අසාධාරණයක් සිදුව ඇතැයි අසාධාරණයට ලක්වූවෝ පෙන්වා දෙති. මෙම සතියේ 5124කට උසස්වීම් දෙනු ලැබීය. නමුත් ජනපතිවරයා පොලිසියේ තිස්එක් දහසකට උසස්වීම් දෙන ලෙස උපදෙස් දී තිබිණි. පෙර කී උසස්වීම් ලබාදීමේදී උසස්වීම් අපේක්ෂාවෙන් සිටි පොලිස් පරීක්ෂකවරුන් එක්දහස් තුන්සිය දාහතක් (1317) විසිවී ගොස් ඇත. පොලිස් පරීක්ෂකවරුන් 1356ක් උසස්වීම් අපේක්ෂාවෙන් සිටියද ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයට උසස්වීම් ලැබුණේ 39 දෙනකුට පමණි. ඉතිරි පිරිසෙන් 2020 ජනවාරි 01දා සිට තවත් 541ක්ද, ඉතිරි පොලිස් පරීක්ෂකවරුන් 774 දෙනා 2021 ජනවාරි 01දා සිටද තවත් අදියර දෙකකදී උසස්වීම් ලබාදීමට තීරණය කර ඇත. මීට පෙර යෝජනා වූයේ 2019 ජනවාරි 01දා පළමු කණ්ඩායමත්, 2019 ජූලි 01 දෙවැනි කණ්ඩායමත්, 2020 ජනවාරි 01දා තුන්වැනි කණ්ඩායමටත් උසස්වීම් ලබාදීමටය. මෙම නිලධාරීන් එම ක්‍රමවේදය යටතේ උසස් කරන්නට අනුමැතිය දී තිබුණද වැටුප් ගෙවීමට රජයට මුදල් නොමැති බව දන්වා උසස්වීම් වසර ගණනක් පසු කරන්නට බලධාරීන් තීරණය කර ඇත. මේ තත්ත්වය යටතේ උසස්වීම් අපේක්ෂාවෙන් සිටින පොලිස් ස්ථානාධිපතිවරුන්, පොලිස් ස්ථානවල එක් එක් අංශ භාර ස්ථානාධිපතිවරුන් වශයෙන් කටයුතු කළ 1317ක් කලකිරීමට ලක්ව ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අනාවරණය කළේය. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..