brand logo

පොලිස්පතිගේ පෙත්සම සලකා බැලීම ලබන 31 වැනිදා

24 June 2019

අනිවාර්යය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව සලකා බැලීම වෙනුවෙන් පෙත්සම ලබන මස 31 වන දා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) නියෝග කළේය. මෙම පෙත්සම අද ප්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී. දෙහිදෙණිය සහ එස්. තුරෙයිරාජා යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවේය. තමා අනිවාර්ය නිවාඩු යැවීමේ නියෝගය වළක්වන, අතුරු තහනම් නියෝගයක් ඉල්ලා පූජිත් ජයසුන්දර මහතා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබේ. පූජිත් ජයසුන්දර මහතා එම පෙත්සමෙන් ඉල්ලා සිටින්නේ තමා යළි සේවයේ පිහිටුවන ලෙසයි. සාධාරණ හේතුවක් නොමැතිව තමා අනිවාර්ය නිවාඩු යැවීම මගින් සිය මුලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ. නඩුවේ වගඋත්තරකරුවන් වන්නේ වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න , හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු , නීතිපතිවරයා, රාජ්‍ය බුද්ධි අංශය භාර නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් සහ කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවයි. ඡායාරූප - සමන් අබේසිරිවර්ධන
 

More News..