brand logo

පොල් ගෙඩියේ වට මනින්න මිනුම්පටි

28 September 2020

මිලදී ගන්නා පොල් ගෙඩියේ වට ප්‍රමාණය මැනීමට පාරිභෝගිකයා වෙළෙඳපොළට මිනුම් පටියක් ගෙන යායුතු නැතැයි පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ඊයේ (27 වැනිදා) ප්‍රකාශ කළේය. වට ප්‍රමාණය අඟල් 13 ට වැඩි පොල් ගෙඩියක් රුපියල් 70.00කට, වට ප්‍රමාණය අඟල් 12 - 13 ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 65.00 කට සහ වට ප්‍රමාණය අඟල් 12 ට අඩු පොල් ගෙඩියක් රුපියල් 60.00කට අලෙවි කළ යුතු බවට ගැසට් නිවේදනයක් නිකුත් කළේ පොල් මිල සම්බන්ධයෙන් ජනතාව මත ඇති විශාල පීඩනයකට සහනයක් වශයෙන් බවද සභාපතිවරයා කීවේය. මෙම මිල තීරණය කළේ පොල් සංවර්ධන අධිකාරිය සමගද සාකච්ඡා කිරීමෙන් පසුව බව කී හෙතෙම වෙළෙන්දන්ට එරෙහිව නීතිමය පියවර ගත හැක්කේ පොල් ගෙඩියට මිම්මක් ඇත්නම් පමණක් බවද කීය. පොල් ගෙඩියට මිම්මක් ඇති කිරීම අලුත් තත්ත්වයක් බව කී සභාපති ශාන්ත දිසානායක නියමිත වට ප්‍රමාණයේ පොල් ගෙඩියක් අදාළ මිලට අලෙවි නොකරන්නේ නම් ඒ බව පාරිභෝගික සේවා අධිකාරියේ විමර්ශන නිලධාරීන්ට පැමිණිලි කළ හැකි බවද පසුව එම නිලධාරීන් විසින් පොල් ගෙඩියේ වට ප්‍රමාණය පරික්ෂා කර වෙළෙන්දාට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බවද පැවැසුවේය. පොල් ගෙඩිය මැනීම සඳහා ඒ ඒ වට ප්‍රමාණය අනුව සැකසූ විශේෂ උපකරණයක් විමර්ශන නිලධාරීන් සතුව ඇතැයිද ඒ ආකාරයේ උපකරණයක් වෙළෙන්දාටද පහසුවෙන් සකස් කරගත හැකි බවත් ඔහු පැවැසුවේය. පාරිභෝගික සේවා අධිකාරියේ ඊයේ (27 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ රුපියල් 100 කට අලෙවි කළ පොල් ගෙඩිය රුපියල් 70 ක් දක්වා අඩු කිරීමෙන් ජනතාවට ලබා දුන් සහනය පිළිබඳ කිසිවෙකු කතා නොකරන බවය. අජිත් අලහකෝන්
 

More News..