brand logo

පොල්පිතිගම කජු ගොවීන්ට රුපියල් කෝටි 2 1/2ක පොලු

22 June 2019

පොල්පිතිගම පොතුවිල ආඳාගල යායේ කජු ගොවීන්ගෙන් පෞද්ගලික ආයතනයක් මිලදී ගත් කජු සඳහා රුපියල් කෝටි දෙක හමාරක පමණ මුදලක් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් කජු ගොවීන් දහසකට ආසන්න පිරිසක් දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටිති. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට අවස්ථා ගණනාවකදී කටුගස්තොට ග්‍රීන් කැබින් ආයතනය විසින් මිලදී ගෙන ඇති කජු සඳහා මෙසේ මුදල් ගෙවීම පැහැර හැර ඇත. ඒ අනුව ප්‍රදේශයේ අක්කර 500ක පමණ කජු වගා කරන ගොවීන් එම කජු පියලි කරන පිරිස ඇතුළු දහසකට ආසන්න පිරිසකට මෙසේ මුදල් ගෙවීම පැහැර හැර තිබේ. පියලි කළ කජු කිලෝග්‍රෑමයක් කාණ්ඩ තුනක් යටතේ රුපියල් 2200, 2100, 2000 අතර මිල ගණන්වලට මිලදී ගෙන ඇත. ලබාගත් කජු සඳහා මුදල් කර ගැනීමට ලබාදුන් චෙක්පත්වල වටිනාකම රුපියල් දෙකෝටි පනස් හතර ලක්ෂ හැට තුන්දහස් එකසිය පනස් එකක මුදලකි. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද එම ගොවීන් හා කජු සකස් කරන ගම්වැසියන් පැමිණිලි කර තිබේ. චමින්ද සේනාරත්න
 

More News..