brand logo

පොදු වාහනවල යනවිට නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකළොත් අමාරුවේ

22 May 2020

ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 ආසාදන ව්‍යාප්තිය මේ වනවිට යම් සාධනීය මට්ටමකට පාලනය වී තිබේ. එහෙත් අන්තර් පළාත් මගී ප්‍රවාහන සේවා ආරම්භ කිරීමෙන් පසු නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේ නැතිනම් යළිත් රෝග අවදානම ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි. පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී ඉතා සැලකිලිමත් විය යුතුයි. අන්තර් පළාත් ප්‍රවාහන සේවා ආරම්භ වුවත් අත්‍යවශ්‍ය කරුණකට හැර පළාත් අතර ගමන් කිරීම ​නොකළ යුතුයි. වයස්ගත පුද්ගලයන්, ගර්භණී මව්වරුන්, වයස අවුරුදු 5ට අඩු දරුවන් හැකි සෑම විටෙකම පොදු ප්‍රවාහන සේවාවන් යොදාගෙන සංචරණයෙන් වැළකී සිටිය යුතුයි. අත්‍යවශ්‍ය අවස්ථාවල එම කාණ්ඩවලට අයත් පුද්ගලයන් පෞද්ගලික වාහන යොදා ගැනීම සුදුසුයි. පොදු ප්‍රවාහන සේවා භාවිත කරන්නේ නම් මගීන් මෙන්ම රියැදුරු හා කොන්දොස්තරවරුන් මුඛ ආවරණ පැලඳීම අත්‍යවශ්‍ය වෙයි. රථය තුළ සිට පිටතට කෙළ ගැසීම නොකළ යුතුයි. නිසි ප්‍රමිතියට අනුව සැකසුණු විෂබීජ නාශක දියරයකින් රථයට නැගීමට පෙර හා රථයෙන් බැසීමෙන් පසු දෑත් පිරිසුදු කරගත යුතුයි. රථය තුළදී අනවශ්‍ය ලෙස ආසන හා ආධාරක ඇල්ලීමෙන් වැළකී සිටීමද වැදගත් වෙයි. පෞද්ගලික අංශයේ මෙන්ම රාජ්‍ය අංශයේ ප්‍රවාහන සේවා ඇරඹීමට පෙර සෑම දිනකම වාහන ඇතුළත විෂබීජානුහරණය කිරීම අත්‍යවශ්‍ය වේ. රියැදුරු හා කොන්දොස්තර මුඛ ආවරණ හා අත්වැසුම් පැලඳීමද අවශ්‍යය. දැඩි තදබදයක් ඇති නොවන ආකාරයට මගීන් ප්‍රමාණවත් පරිදි නංවා ගැනීමත් ඔවුන්ගේ වගකීමකි. මෙසේ පොදු ප්‍රවාහනයට සම්බන්ධ සියලු දෙනාත්, මගී ජනතාවත් නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් කොවිඩ්-19 ව්‍යාප්තිය අවම කරගැනීමට ක්‍රියා කරන්නේ නම් රෝගය ව්‍යාප්ත වීම සිදු නොවනු ඇත. රෝගය ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.    
 

More News..