brand logo

පොත්  ගල්කරන්නන් සොයා බැලුවෙමු

27 October 2019

මගේ විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය පැවතුණේ එකලය. මගේ විශ්වවිද්‍යාලය වූයේ කොළඹ මහජන පුස්තකාලයය. මට නවතින්නට තැනක් එකල නොතිබුණේය. මම එක්තරා නෑ ගෙදරක නැවතී උදේ හතට පමණ පිටවී රෑ දහයට පමණ ආපසු යමි. එය පිහිටියේ කොළඹින් පිටතය. මම මුළු දවසම ගත කළේ මගේ මේ විශ්වවිද්‍යාලයේ කියවීම් ශාලාවෙහිය. එහි සිටි සේවකයන්ට මා පෙනුණේ නිකම් රස්තියාදුකාර කාලකණ්ණියකු ලෙසටය සිතමි. ඇතැම්හු ඒ බව මගෙන් නොසැඟවූහ.’’ මේ ජී.බී. සේනානායකගේ විනිවිදිමි අඳුර කෘතියෙන් උපුටා ගන්නා ලද්දකි. මෙම කොටස උපුටා ගැනීම සඳහා විනිවිදීමි අඳුර කෘතිය සොයා ගැනීමට මට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය. එය මා මිතුරකු අතට පත් කළේ අපූරු කියමනක්ද කියමින්ය. ‘‘මේ පොත මගේ නෙමේ. මේක පුස්තකාලයකින් ගල් කරපු පොතක්. හැබැයි පොත දැන් මගේ තමයි’’ කියාය. ඔහු පොත ගල්කර තිබුණේ මීට වසර විස්සකට පමණ පෙරය. ඔහු මෙන්ම අදත් බොහෝ  දෙනකු පුස්තකාල සතු පොත් තමන් සතු කරගැනීමට දක්වන්නේ මහත් ඇල්මකි. පසුගිය කල කොළඹ මහජන පුස්තකාලයට සිදු කළ ගණනය කිරීමකදී තහවුරු වී ඇත්තේ 2010 වසරේ සිට 2017 වසර දක්වා කොළඹ මහජන පුස්තකාලයේ සහ කොළඹ නගර සීමාවේ පුස්තකාල දහතුනක පාඨකයන් එකදහස් නමසිය හැත්තෑ දෙදෙනකු (1972) පුස්තකාලවලින් ලබාගත් පොත් තුන්දහස් තුන්සිය එකක් (3301) නැවත භාර නොදුන් බවකි. කොළඹ නගර, මහා නගර සභාවේ ප්‍රධාන පුස්තකාලායාධිපතිනිය වන වරුණි ගඟබඩආරච්චි සඳහන් කරන ආකාරයට බැහැරට ගෙන ගොස් භාර නොදුන් පොත්වල මුළු වටිනාකම වන්නේ රුපියල් අට ලක්ෂ හැත්තෑ තුන් දහස් තිහයි සත තිස් අටකි. (873030.38) පුස්තකාලය විසින් පොත් බැඳීමට මෙන්ම පොත නැවත භාර නොදුන් කාලයට සරිලන සේ දඩ මුදල් එක් කළ පසුව මෙම මුදල තවත් වැඩි වන්නේය. 2010 වසරේ සිට 2017 වසර දක්වා කාලය තුළ පොත් භාර නොදුන් පාඨකයන්ගෙන් අය විය යුතු මුදලින් තවත් කුඩා පුස්තකාල දෙකක් ආරම්භ කිරීමට පවා හැකිය. කොළඹ මහජන පුස්තකාලයම පවසන ආකාරයට එම මුදල හතළිස් තුන් ලක්ෂ අනූහය දහස් අටසිය පනස් හතයි සත අසූ තුනකි. (4396857.83) මහජන පුස්තකාලයේ බැහැර දෙන අංශයේ පොත් දෙලක්ෂයට අධික පොත් සංඛ්‍යාවෙන් නැවත භාර නොදුන් පොත් සංඛ්‍යාව පවතින්නේ සියයට බිංදුවයි දශම බිංදුවයි හතක් (0.07%) වැනි ඉතා පහළ මට්ටමකි. කොළඹ මහජන පුස්තකාලය ඇරඹීමට මුල් වී ඇත්තේ පොතපතට ආදරය කරනා එකල සිටි උගතෙකි. ඒ ජුනියස් රිචර්ඩ් ජයවර්ධන හෙවත් ජේ.ආර්. ජයවර්ධනගේ පියා වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වන රාජ නීතිඥ ඉයුජින් විල්ෆඩ් ජයවර්ධනයි. දැනට කොළඹ නගරාධිපතිනියගේ නිල නිවස ආරම්භක මහජන පුස්තකාලයේ ගොඩනැගිල්ල වේ. ජේ.ආර්. ජයවර්ධනගේ පියා එය ඇරඹුවද එහි මුල්ම සාමාජිකත්වය ඔහුගේ පවුලේ කිසිවකුත් ලබාගන නොමැත. එහි මුල්ම සාමාජිකත්ව ලබාගෙන ඇත්තේ සී. බටුවන්තුඩාවේ නමැති කාන්තාවකි. ඒ 1925 වසරේ අගෝස්තු අට වැනි දිනය. ඇය පිළිබඳව වැඩි විස්තරයක් මහජන පුස්තකාලය සතුව නොපවතින්නේය. නමුත් අප අනුමාන කරන ආකාරයට ඇය එකල විසූ බටුවන්තුඩාවේ පඬිතුමාගේ පරපුරේ අයකු වීමට පුළුවන. දෙවැනි සාමාජිකත්වය ලබා ඇත්තේ ඒ.ඊ. ගුණතිලක යන්නෙකි. අන්තර්ජාලය හරහා ඒ.ඊ. ගුණතිලක යන්නන් පිළිබඳව සොයා බැලීමේදී අපට වැටහුණේ ඔහු නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ලාංකික ආණ්ඩුකාරවරයා වන සර් ඔලිවර් ගුණතිලකයන්ගේ පියා බවය. ප්‍රථම සාමාජිකත්වය ලබා ගෙන දෙදිනකට පසුව ඔහු සාමාජිකත්වය ලබා ඇත්තේ ඒ. ඊ. ගුණතිලක යනු තැපැල් ස්ථානාධිපතිවරයෙකි. මුල්ම සාමාජිකත්වලාභීන් සිල්වා, ගුණතිලක, අල්විස් පෙරේරා, සොයිසා වැන්නන්ය. මේ අතර ඉංග්‍රීසි ජාතීන්ද බොහෝය. බණ්ඩාරනායක කෙනෙක් නම් තුන්සිය අනූවැන්නා (390) සාමාජිකත්වය ලබා ගෙන ඇත්තේය. ඒ මෙරට සුප්‍රකටම බණ්ඩාරනායක වන එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකය. බ්‍රැඩ්මන් වීරකෝන්ගේ ‘අරලියගහ මන්දිරයේ ස්පන්දනය’ කෘතියේ සඳහන් ආකාරයට බණ්ඩාරනායක යනු පොතපත ඇසුරු කළ අයෙකි. ඔහු 1927 ඔක්තෝබර් 29 වැනි දින සාමාජිකත්වය ලබාගෙන තිබේ. බණ්ඩාරනායක මෙන්ම ජේ.ආර්. ජයවර්ධනද බොහෝ පොත් ඇසුරු කළ අයෙකි. ඔහු 1926 වසරේ දෙසැම්බර් 29 වැනි දින අනූ හතර වැනි සාමාජිකත්වය ලබාගෙන ඇත. ජේ.ආර්. ජයවර්ධනයන් කොතරම් පොත පත ඇසුරු කළේ දැයි තහවුරු වන්නේ ඔහුගේ නිවසෙහි ඉදි කර තිබෙන පුස්තකාලය දුටු විටය. නගර ශාලාව ඉදිරිපිට තිබෙන ඔහුගේ කුඩා කල හැදුණු වැඩුණු නිවෙස අද ජයවර්ධන කේන්ද්‍රය නමින් ඔහුගේ සියලු මතක සටහන් සහිත ස්ථානයක් බවට පත් කරන්නේය. තමන් පොතපත ඇසුරු කරා පමණක් නොව තවත් බොහෝ දෙනකුට පොතපතට යොමු කළ අයකු වන්නේ ගුණපාල මලලසේකරයන්ය. ඔහු ඉංග්‍රීසි, සිංහල ශබ්ද කෝෂයේ නිර්මාතෘෘය. බෙහෝ දෙනකු ඉංග්‍රීසි පොතක රස විඳින්නට ලබන්නේ ඔහුගේ ශබ්ද කෝෂයට පින්සිදු වන්නටය. ඔහුත් කොළඹ මහජන පුස්තකාලයේ සාමාජිකයෙකි. 1926 වසරේ දෙසැම්බර් 29 වැනි දින ඔහු සාමාජිකත්වය ලබා ඇත. ඔහුට හිමිවන්නේ තුන්සිය තිස් තුන්වන (333) සාමාජිකත්වයයි. ප්‍රථම සාමාජිකත්වය ලබාදී අද වන විට වසර අනූ හතරක් ගෙවී ගොසිනි. පසුගිය 10 වැනි දින වන විට කොළඹ මහජන පුස්තකාලය ලබා දුන්නේ එක්ලක්ෂ හැත්තෑ හය දහස් තුන්සිය හැට තුන් වන (176363) සමාජිකත්වයයි. එකල ඇසූ පිරූ ඇත්තෝ බොහෝ දෙනකු පොතපත ආශ්‍රය කළද මෙකල එවැනි පිරිසක් පුස්තකාලය පරිහරණය කරනු දැක ගැනීමට නොහැකි තරම්. කිවිඳියක වන යමුනා මාලනිය හා නිවේදක පාලිත පෙරේරා යන දෙදෙනා නම් පුස්තකාලය පරිශීලනය කරනු අපටද දැක ගත හැකිවේ. දේශපාලනඥයකු නම් වැස්සකට හෝ කොළඹ මහජන පුස්තකාලයට ගොඩ වදින්නේ නැත. බ්‍රැඩ්මන් වීරකෝන්ගේ අරලිය ගහ මන්දිරයේ ස්පන්දනය කෘතියේ සඳහන් ආකාරයට ඔහු සේවය කළ අග්‍රාමාත්‍යවරුන් අතරින් වැඩිම පොතපත ඇසුරු කර ඇත්තේ ඩඩ්ලි සේනානායකය. ඔහු වැඩි වශයෙන් කියවා ඇත්තේ ප්‍රබන්ධ නොව වෙනත් විෂයයන් පිළිබඳවය. නමුත් මෙකල දේශපාලනඥයන්ගෙන් නම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පොත්පත් ඇසුරු කරන බව නම් අපි අසා ඇත්තෙමු. පොතපත ඇසුරු කරන්නන්ගේ රුචිකත්වයන් කලින් කලට වෙනස් වේ. මෙකල නම් බොහෝ දෙනෙකු කියවීමට කැමැත්තක් දක්වන්නේ දේශපාලනයට සම්බන්ධ පොත්පත්ය. යුද්ධ පැවැති සමයේ ඒ හා සම්බන්ධ පොතපතට තිබුණේ දැඩි ඉල්ලුමකි. කොළඹ මහජන පුස්තකාලයේද පවතින්නේ එවැනි තත්ත්යවකි. කලින් කලට පොතපතට තිබෙන ඉල්ලුමද වෙනස් වන බව එහි ප්‍රකාශිකාවක අප හා පැවසුවාය. සාහිත්‍ය මාසය යෙදෙන සැප්තැම්බර් මාසයේදී සාහිත්‍ය සම්මානයට පාත්‍ර වූ පොත් සොයා බොහෝ දෙනකු මහජන පුස්තකාලය වෙත ඇදෙයි. ඇතැම් රූපවාහිනී නාලිකාවල පොතක් මුල් කර ගෙන නිෂ්පාදනය වූ නාට්‍යයක් ප්‍රදර්ශනය වන අවස්ථාවේ එම පොතට ඇත්තේ ඉහළ ඉල්ලුමකි. මේ ආකාරයට විවිධ පොතපත මසකට පහළොස් දහසකට වැඩි සංඛ්‍යාවක් පාඨකයන් විසින් කියවීමට රැගෙන යයි. වැඩි වශයෙන්ම පාඨකයන් කියවීමට කැමැත්තක් දක්වන්නේ ප්‍රබන්ධ හා අධ්‍යාපනික පොතපතයි. මහජන පුස්තකාලයාධිපතිනිය පවසන ආකාරයට පොතපත නැවත භාර නොදුන් ගොන්නේ වැඩිපුරම ඇත්තේද ප්‍රබන්ධයයි. ඒවාද සිංහල මාධ්‍යයෙන් ප්‍රකාශිත ඒවාය පුස්තකාලයෙන් රැගෙන ආ පොතපත නැවත භාරදීමට මැලිකමක් දක්වන්නේ කුඩා දරුවන් නොව වැඩිහිටියන්ය. පුස්තකාලයාධිපතිනිය පවසන ආකාරයට වැඩිහිටියන් තමන් රැගෙන ගිය පොත් එක්දහස් දෙසිය විසි අටක් නැවත භාර නොදුන් අතර කුඩා දරුවන් එකසිය පස් දෙනෙකු පමණක් නැවත පොත් භාරදී නොමැත. වැඩිහිටි බාල මහලු සියලු දෙනාටම පුස්තකාලයක් වෙතින් පත පොත ලබා දෙන්නේ යම් කිසි ක්‍රියා පටිපාටියකට අනුවයි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා පොත් සතරක් මසක කාලයක් තුළ ලබාදෙන අතර අනෙක් සියල්ලන්ටම පොත් දෙකක් ලබා දෙන්නේ දෙසතියක කාලයකටයි. එම කාලය අවසන් වූ පසු දිනකට රුපියල් පහක් ලෙස දඩ මුදලක් එකතු වේ. ‘‘අපේ පුස්තකාලය මෙලෙස දඩ ඇතිව දින විසි අටක කාලයක් පොත නැවත භාර දෙනවාද කියා බලනවා. දින විසි අටකට පසුව පළමු සිහි කැඳවීමේ ලිපිය ඔවුනට යවනවා. ඉන්පසුවත් භාර දුන්නේ නැත්නම් තවත් දින පනස් හතරක කාලයකින් පසුව දෙවැනි සිහි කැඳවීමේ ලිපිය ඔවුනට යවනවා. තවත් දින හැත්තෑ අටකට පසුව ඇපකරු ඇතුළුව සිහි කැඳවීම සිහි කරනවා’’ මෙසේ සිහි කැඳවීම් තුනම සිදු කරලා පොත් භාර නොදුන් පොත් ගණන තමයි මේ තුන්දහස් තුන්සිය එක. අවසානයේ පුස්තකාල කටයුතු පිළිබඳ ස්ථාවර කමිටුව මගින් තීරණය කළා පොත ඇතිනම් දඩ මුදලින් සියයට හැත්තෑවක් ගෙවල පොත භාර දෙන්න’’ ඒ ප්‍රධාන පුස්තකාලයාධිපතිනිය වන වරුණි ගඟබඩආරච්චිගේ මතක් කිරීමයි. කතාවටත් කියන්නේ අපේ රටේ පිරිසට යමක් මතකයේ රැඳෙන්නේ මාසයක් හෝ දෙකක් කියාය. ඉන්පසුව කවුරුන් හෝ එය මතක් කළොත් යළි මතකයට නැගෙන්නේ තරමක් අපහසුවෙනි. ඒ අපේ හැටිය. ගඟබඩආරච්චි මහත්මිය පවසන ආකාරයට පොත් රැගෙන ගිය ඇතැමුන්ට ඒ පිළිබඳ මතක් කළ විට තමන් පොතක් රැගෙන ගිය බව මතක් වී පොත ගෙනවිත් නැවත භාර දෙයි. ඇතැමුන් පොත් භාර දීමේදී පවසා ඇත්තේ තමන් අසනීප වී සිටි නිසා ගෙනත් දෙන්න බැරි වුණා. ගෙවල් අත්හැරලා ගිය හින්දා අමතක වුණා. නැතිනම් තවත් කෙනකුට දුන්නා ගෙනත් දෙන්න කියලා එයාට අමතක වුණා වැනි කරුණුය. මේ අතර තුර වංචා කරගත්තෝද නැතුවා නොවෙයි. කොළඹ මහජන පුස්තකාලයේ කාඩ්පත් හිමියන්ගේ දත්ත පරිගණක ගත කිරීමට පෙර තිබූ කාඩ් ක්‍රමයකි. එහිදී පොත භාර නොදී වසර ගණනාවක් පුස්තකාලය වෙත නොපැමිණ හොර රහසේ නැවත කාඩ්පතක් ලබා ගැනීමේ හැකියාව පැවැතියේය. ඒ අනුව ක්‍රියා කළ පිරිසද මේ අතර සිටිනවා වන්නට පුළුවන. මීට පෙර භාර නොදුන් පොත් පිළිබඳ පුස්තකාල නීති ක්‍රියාමාර්ග ගෙන නොමැත. ඒවා ඔවුන්ගේ ලේඛනවලින් ඉවත් කිරීම සිදු කර ඇත්තේය. පුස්තකාලයක් භාරව සිටි පුස්තකාලයාධිපතිවරයකු විශ්‍රාම යාමේදී නැති වූ පොත් පිළිබඳව නිවැරදිව දත්ත ලබා දිය යුතුය. එසේ නොවන අවස්ථාවලදී අදාළ පුස්තකාලයාධිපතිට පොත්වල වටිනාකමට ගෙවීමට පවා සිදුවේ. පොත්පත් රැගෙන ගොස් නැවත නොදෙන්නේ ඔවුන් පොත් හොරු නිසාම නොවන්නේය. ශිරෝමි රත්නායක
 

More News..