brand logo

පොඩ්ඩක් ඉවසල ඉන්න මේ ප්‍රශ්න ටික විසඳල දෙන්නම්

14 May 2019

සඳුදා දවසේ විපක්ෂ නායක මහින්ද හමුවීමට විජේරාම නිල නිවසට පැමිණියේ, සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරිකයින් පිරිසකි. සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් මහින්දට කීවේ සංචාරක ව්‍යාපාරය මේ වන විට අති දැවැන්ත අර්බුදයකට මුහුණ පා සිටින බවය. ‘‘සර් හිටියා නම් මෙහෙම වෙන්නේ නැහැ...’’ එක් ව්‍යාපාරිකයකු පැවසීය. ‘‘සර් වගේ කෙනෙකුට තමයි ආයෙත් මේ රට ගොඩනගන්න පුළුවන්... යුද්ධයෙන් පස්සේ සංචාරක ව්‍යාපාරය හැදීගෙන ආවා විතරයි... දැන් ආයෙත් මුල ඉඳන් පටන් ගන්න වෙලා... ආණ්ඩුවට කිසිම ගාණක් නැහැ... සංචාරක ඇමැතිවරයෙක් ඉන්නවද නැද්ද දන්නෙත් නැහැ...’’යි තවත් ව්‍යාපාරිකයකු කීවේය. ‘‘මොකද නැත්තේ...? ඇමැති කෙනෙක් ඉන්නවා... හැබැයි ඉතින් එතුමාට ‘වෙන වැඩ’ තියෙනවනේ... අපේ දිස්ත්‍රික්කයේ මනුස්සයා හින්ද තමයි අපිත් දන්නේ...’’ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා පැවසුවේ සංචාරක ඇමැති ජෝන් අමරතුංගව මතක් කරමිනි. ‘‘දැන් සංචාරකයෝ එන්නේ නැති නිසා සංචාරක හෝටල්වල කාමර සේරම හිස්වෙලා... අගමැතිවරයාට පුළුවන් මත්තල වී ගබඩා කළා වගේ ඕනේ නම් සංචාරක හෝටල්වලත් වී ගබඩා කරන්න...’’ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක පැවසුවේය. ‘‘ගබඩා කරන්නත් වී තියෙන්න එපැයි... මේගොල්ලො 2015 දී ගබඩා කළේ අපේ ආණ්ඩුව තියෙන කාලේ නෙළපු අස්වැන්න... මේ අය ඇවිත් පොහොර සහනාධාරත් කපලා කෘෂිකර්මාන්තය නැත්තටම නැතිකරලා දැම්මනේ...’’ මහින්ද කීවේ ය. ‘‘කෘෂිකර්මාන්තය විනාශ වුණත් හැදෙන අය හැදුණා... දැක්කනේ ඉතින් අමාත්‍යාංශයට බිල්ඩින් ‍කුලියට දීලා කෝටි ගණන් හොයා ගත්තු හැටි...’’ යැයි එස්. එම්. චන්ද්‍රසේන කිව්වේ, දුමින්ද දිසානායක සිහිපත් කරමිනි. ‘‘කටුනායක ගුවන්තොටුපොළ සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වෙලා... ගුවන්තොටුපොළ ආශ්‍රිතව සංචාරක කවුළුවල සේවය කරපු මාර්ගෝපදේශකයන්ට වෙලා තියෙන්නේ වහ බොන්න... ඒ අයට දැන් එයපෝර්ට් එකට ඇතුළු වෙන්නවත් දෙන්නේ නැහැ...’’ යි කීවේ ලන්සා ය. හැමෝම තම තමන් පත්ව ඇති අපහසුතා ගැන කියූ ඒ සාකච්ඡාව අවසන් කරමින් මහින්ද කීවේ ‘‘පොඩ්ඩක් ඉවසල ඉන්න... මේ ප්‍රශ්න ටික විසඳල දෙන්නම්... මීට වඩා ප්‍රශ්න අපි විසඳුවනේ...’’ යි කියා ය.
 

More News..