brand logo

පේනවට වැඩියෙන් ආසාදිතයෝ වැඩියි

28 January 2022

වැඩි හරියක් පාසල් ළමයි

කොවිඩ් ආසාදිතයන් සඳහා වෙන් කර තිබූ ප්‍රතිකාර මධ්‍යස්ථාන බොහෝමයක් මේ වන විට වසා දමා ඇති බැවින් වර්තමානයේ රෝහල් ගත වන ආසාදිතයන් ප්‍රමාණය වැඩිවී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරයි. මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දක්වමින් උපුල් රෝහණ මහතා මෙසේද පැවසීය. ‘‘මෙරට දෛනික ආසාදිතයන් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙමින් පවතිනවා. මාධ්‍ය මගින් ගෙන හැර දක්වන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් කොවිඩ් ආසාදිතයන් වාර්තා වන බව කිව යුතුයි. මේ වන විට කොවිඩ් ආසාදිතයන්ගෙන් අපේ රෝහල් පද්ධතිය පිරී ඉතිරී ගොස් තිබෙනවා. එම ප්‍රමාණය තවදුරටත් දරා ගැනීමට හැකියාවක් තිබේද යන්න ගැටලු සහගත කරුණක්. වාර්තා වන කොවිඩ් ආසාදිතයන් අතරින් බහුතරයක් පාසල් දරුවන් සහ ඒ ආශ්‍රිත පිරිස් වීමද විශේෂත්වයක්. ඒ නිසා අපි නැවත නැවතත් අධ්‍යාපන බලධාරීන්ගෙන්ද, පාසල් කළමනාකාරීත්වයෙන් මෙන්ම දෙමව්පියන්ගෙන්ද ඉල්ලා සිටින්නේ තම දරුවන් සම්බන්ධයෙන් දැඩි අවදානයකින් පසුවන ලෙසයි. ඇතැම් පිරිස් විවිධ මිථ්‍යා මත හේතුවෙන් බූස්ටර් එන්නත ලබාගැනීමෙන් වැළකී සිටිනවා. අප ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටින්නේ අනවශ්‍ය මිථ්‍යා මතවලින් මිදී රෝගයෙන් ආරක්ෂා වීම සඳහා කොවිඩ් තුන්වන එන්නත ලබාගැනීමට කටයුතු කරන ලෙසයි.’’ •ජූඩ් සමන්ත - පුත්තලම
 

More News..