brand logo

පෙරහැරත් බලලම යමු

25 July 2019

ඉකුත් සති අන්තයේදී අගමැති රනිල් වික්‍රමසිංහ කතරගම දේවාලය වැඳපුදාගත්තේ ය.ඒ කතරගම අෂ්ට ඵල බෝධිය අසල පැවැත් වුණු විශේෂ බෝධි පූජාවකට ද සහභාගිවීමෙන් අනතුරුව ය. මෙම වන්දනා ගමනට ගයන්ත කරුණාතිලක ද සහභාගි වී සිටි අතර එදින පෙරහරේ විදුලි ආලෝකය දැල්වීමේ කාර්යභාරය ඉටු කළේ ද අගමැතිවරයා ය. මෙම චාරිකාව අතරතුරදී, ‘‘මං ටිකක් අර පැත්තට ගිහින් එන්නම්...’’ යැයි කියමින් ජනතාව අතරට ගිය අගමැතිවරයා පෙරහර නැරඹීමට පැමිණ සිටි අය සමග සුහද කතාබහක නිරත වීමට ද අමතක නොකළේ ය. අනතුරුව කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් ද බැහැදැක උන්වහන්සේගේ ආශිර්වාදය ද ලබාගත් අගමැතිවරයා කතරගම දේවාලයේ ‘විශේෂ පූජාවකට’ සහභාගිවීමෙන් පසුව එදින පෙරහර සඳහා විදුලි ආලෝකය දැල්වීමට ද සහභාගි විය. ‘‘පෙරහැරත් බලලම යමු...’’ යි ගයන්තට කී අගමැතිවරයා ආපසු කොළඹ ආවේ පසුවදා, එනම් ඉරිදා ය. කෙසේ වෙතත්, අගමැතිවරයා මෙම සංචාරයේ දී ‘කතරගමට ඇත් පැටවෙකු පූජාකරන්නට’ සූදානමින් සිටි නමුත්, පරිසර ක්‍රියාකාරී ‘ආනන්ද සාගර හිමියන්’ ගේ බලවත් විරෝධය මත එය වැළකිණි. ඒ අනුව රිදියගම ජාතික සත්වෝද්‍යානයේ ඉසිර නැමැති ඇත්පැටවා තවදුරටත් ‘මව් ඇතින්න’ තුරුලේ සිටී. ‘ආනන්ද සාගර’ හිමියන් පවසන පරිදි අගමැතිවරයා ‘ඉසිර’ නමැති ඇත්පැටවා කතරගම දේවාලයට පූජා කරන්නට හදන්නේ තමන්ගේ ‘අපල’ දුරුකරගැනීමට ය.
 

More News..