brand logo

පෙම්වතා තමයි මගේ ආරක්ෂකයා

06 March 2021

රංගන ක්ෂේත්‍රයට කාලෙන් කාලෙට අලුත් මුහුණු එකතු වෙනවා. තිවංකා නානායක්කාර කියන්නෙත් රංගන ක්ෂේත්‍රයට අලුත් අඩියක් තියපු නවක රංගන ශිල්පිනියක්. ඇය රංගනය තාවකාලික නැවතුමක් කර නොගෙන ක්ෂේත්‍රය තුළ දුර ගමනක් යන්න බලාපොරොත්තු සහගතව සිටින්නියක්. තිවංකා හා හා පුරා කියලා ප්‍රේක්ෂකයන්ට මුණ ගැහෙන්නෙ ‘මිහි’ ටෙලි නිර්මාණයෙන්... මම ගිය අවුරුද්දේ දෙරණ අවුරුදු කුමරිය තරගයෙන් දෙවැනි ස්ථානය දිනාගත්තා. ඊට පස්සේ මම නිර්මාණවල තිර පරීක්ෂණවලට සහභාගි වුණත් ඒවාට සම්බන්ධ වුණේ නැහැ. ඔය අතරේ තුෂාර තෙන්නකෝන් සර් අලුත් ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරනවා එයට අලුත් අය හොයනවා කියලා දැනගෙන තිර පරීක්ෂණයට සහභාගි වුණා. එයින් තේරීලා තමයි මට මිහි ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණේ. එහි මට ගැමි සහ නවීන පන්නයේ කියන චරිත ද්විත්වයක් රඟපාන්න ලැබුණා. ඒක වෙනස් අත්දැකීමක්. වෙනස් චරිත ද්විත්වයක් නිරූපණය කරන්න ලැබීම අභියෝගයක් වෙන්නත් ඇති? ඔව්. මොකද මිහි කියන්නේ මම සම්බන්ධ වෙන පළවැනි නාට්‍යය. මම රංගනය ගැන ඉගෙන ගෙනත් නැහැ. තුෂාර සර් මට රඟපාන්න මුල ඉදන් බොහෝ දේවල් කියලා දුන්නා, තාමත් කියලා දෙනවා. ඒ උපදෙස් එක්ක වගීෂා සහ අනුත්තරා කියන චරිත දෙකට මම අනුගත වෙලා රංගනයට එකතු වෙනවා. අනුත්තරා කියන්නේ කතාවේ වර්තමාන චරිතය. ග්‍රාමසේවක විදිහට තමයි මාව බොහෝ දෙනෙක් හඳුනන්නේ. ලැබුණ පළමු අවස්ථාවෙන් ඔබ සාර්ථකත්වයක් ලැබුවා කියලා හිතනවද? ඔව්. තුෂාර සර් සම්මුඛ පරීක්ෂණයේදි මට කිව්වා මං තුළ දක්ෂතාවක් තියෙනවා කියලා පේනවා කියලා. තුෂාර සර් මං ගැන තිබ්බ විශ්වාසයට මම සාධාරණයක් කළා කියලා හිතනවා. මට මෙතරම් දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නැහැ. නමුත් ලැබෙන ප්‍රතිචාර වලින් මම ඒ චරිතවලට සාධාරණයක් කරලා තියෙනවා කියලා හිතනවා. තිවංකා, නිර්මාණයේ දකින වගීෂා සහ අනුත්තරාට වඩා වෙනස් කෙනෙක්ද? ඒ චරිත දෙකේ සමහර ගති ලක්ෂණ මං ළඟ තිබ්බට මම හාත්පසින්ම වෙනස් කෙනෙක්. මම සාමාන්‍යයෙන් කෙලින් කතා, කරන පින පව විශ්වාස කරන කෙනෙක්. ඒ ගැන හිතලා වැඩ කරන කෙනෙක්. අවුරුදු කුමරි තරගවලට එන බොහෝ අයගේ ඉලක්කය රංගනය... රංගනයට එන්න පොඩි කාලේ ඉඳන්ම ආසාවක් තිබුණා. ඒ වගේම අවුරුදු කුමරියක් වෙන්නත් ආසාවක් තිබ්බා. අවුරුදු කුමරි තරගයට ඉදිරිපත් වුණේ රංගනයට එන්න කියලා හිතාගෙනනම් නෙවෙයි. නමුත් ඒ තරගය මට රංගනයට එන්න පහසුවක් වුණා. රංගන ක්ෂේත්‍රය තරුණියන්ට ගැළපෙන්නේ නෑලු. තිවංකාට එහෙම දැනෙන දේවල් ක්ෂේත්‍රය ඇතුළේ සිද්ධ වෙලා තියෙනවද? රූගත කිරීම්වලට යද්දි මගේ අම්මා හරි මගේ පෙම්වතා හරි තමයි මාත් එක්ක නිතරම එන්නේ. දැන් ගොඩක් වෙලාවට මාත් එක්ක එන්නේ මගේ පෙම්වතා. මට ඒ අය ඉන්න නිසා මේ ක්ෂේත්‍රය නොගැළපෙනවා කියලා දැනෙන දෙයක් වෙලා නැහැ. ඒ කියන්නෙ පෙම්වතා ඔබේ ආරක්ෂකයා වෙලා? ඔව්. එයා මාත් එක්ක හැම තිස්සෙම වැඩවලට එනවා. මට හැමදේටම සහයෝගය දෙනවා. පෙම්වතා කවදාවත් ඔබේ රංගන ගමනට සීමා දාලා නැද්ද? නැහැ. මුලින්ම එයා මගෙන් කැමැති මොනවද, කරන්න පුළුවන් මොනවද කියලා ඇහුවා. අපි මුල ඉදන්ම සැලසුමකට වැඩ කළේ. එයා කියපු දේවල් තමයි මම මේතාක් කළේ. එයාට කිසිම ඊර්ෂ්‍යාවක් නැහැ. ඔබට මගපෙන්වන ඒ පෙම්වතා කවුද කියලා කියමු නේද? එයාගේ නම දසුන් සුබසිංහ. ඔහු ව්‍යාපාරිකයෙක්. දැන් අපේ ආදර කතාවට අවුරුදු හතරකුත් ගෙවිලා. මගේ ජීවිතේ හැම දෙයක්ම පිටුපසින් ඉන්නේ ඔහු. තිවංකා කියලා කෙනෙක් ඉන්නවා නම් ඔහු තමයි මම මේ යන ගමනේ ශක්තිය, රහස. දීග යන දවසත් අත ළඟද? ඒකට තව අවුරුදු හතරක් පහක් විතර යයි. අපේ සැලසුම් සම්පූර්ණ වෙද්දි විවාහයත් ඒ එක තැනක තියෙනවා. තිවංකා මිහි නාට්‍යයට කොටු වෙලා ඉඳියිද... නැත්නම් දැනටමත් අලුත් නිර්මාණවලට පාර කැපිලද? අලුත් නිර්මාණවලට මට ආරාධනා ලැබිලා තියෙනවා. ආරාධනා ලැබෙමිනුත් තියෙනවා. මගේ හැකියාව හොඳින් පෙන්නන්න පුළුවන් නිර්මාණ ලැබුණොත් සම්බන්ධ වෙනවා. සිනමාවටත් එකතු වෙන්න කැමැත්තක් ඇති නේද? ඔව්. මම ආසයි සිනමාවටත් එකතු වෙන්න. හොඳ අවස්ථාවක් ලැබුණොත් සම්බන්ධ වෙනවා. ජනප්‍රිය කිරුළ දරන්න කැමති නැද්ද? නැහැ. එක හෙළාම ජනප්‍රියත්වය ප්‍රතික්ෂේප කරනවද? නැහැ. ජනප්‍රියත්වය හොඳ දෙයක්. හැබැයි ජනප්‍රියත්වය තාවකාලිකයි. ජනප්‍රියත්වය අද තිබිලා හෙට නැති වෙන්න පුළුවන්. නැති වෙන දෙයකට හීන දකිනවට වඩා රැඳෙන්න පුළුවන් හොඳ දෙයක් කරන්න මම කැමැතියි. හොඳම තැනට යන්න පහසු වෙයිද? මේ යන විදිහට ගියොත් අමාරු වෙන එකක් නැහැ. මට රංගනයට තමයි ප්‍රධාන වශයෙන්ම අවධානය දෙන්න තියෙන්නේ. මගේ කෑමබීම ගැන, මගේ ඇඳුම් පැළඳුම් ගැන, මේ හැම දෙයක් ගැනම පෙම්වතා සැලකිලිමත් වෙනවා. තිළිණි කෞශල්‍යා විජේසිංහ
 

More News..