brand logo

පෘථිවියට ඇස්ටරොයිඩ බලපෑමක්

29 September 2020

  නොවැම්බර් 02 වැනිදා පෘථිවි කක්ෂය ආසන්නයෙන් ඇස්ටරොයිඩයක් ගමන් කිරීමට ඉඩ ඇති බව අභ්‍යවකාශ විද්‍යාඥයෝ අනාවැකි පළ කරති. ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් 03වැනිදාය. මෙම ඇස්ටරොයිඩය 2018 VP-1 ලෙස නම්කර තිබේ. නාසාහි පෘථිවි ආසන්න වස්තු පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානයේ විද්‍යාඥයෝ මෙම හෙළිදරව්ව සිදුකරති. ‘‘2018 VP-1 ඉතා කුඩා වස්තුවක්. එහි විශාලත්වය අඩි හය හමාරක් පමණ වෙනවා. පෘථිවියට එමගින් තර්ජනයක් සිදුවීමේ අවදානම අඩුයි. යම් හෙයකින් එය අපේ වායුගෝලයට ඇතුළු වුවහොත් එහි කුඩා බව නිසා පිලිස්සී දැවී යනු ඇති’’ නාසා ආයතනය පවසයි. නාසා ආයතනය වඩාත් අවධානය යොමු කරන්නේ මීටර් 140කට (අඩි 459කට) වැඩි විශාලත්වයකින් යුතු ඇස්ටරොයිඩ කෙරෙහිය. ‘‘මෙම ඇස්ටරොයිඩයේ ගමන් මග අප තහවුරු කරගත්තේ දින 12,968ක් තිස්සේ දිශාවන් 21කින් ලබාගත් නිරීක්ෂණ අනුවයි’’ එහි ප්‍රකාශකයෙක් පැවසීය. ‘‘ඒ අනුව එය පෘථිවිය හා ගැටීමට ඇති සම්භාවිතාව සියයට 0.41ක් තරම් සුළු ඉඩක්’’ යැයිද ඔහු කීය. මේ වනවිට පෘථිවිය ආසන්නව විවිධ ප්‍රමාණයේ ඇස්ටරොයිඩ 20,000කට වඩා ප්‍රමාණයක් තාරකා විද්‍යාඥයන් විසින් හඳුනාගෙන තිබේ. ඒ හැරුණු විට වල්ගා තරු සියයකට ආසන්න සංඛ්‍යාවක්ද සූර්යයා වටා පරිභ්‍රමණය වන අභ්‍යවකාශ වස්තු ගණනාවක්ද ඔවුන්ගේ නිරන්තර නිරීක්ෂණයට ලක්වෙමින් පවතී. වසන්ත විජේරත්න
 

More News..