brand logo

පූජිත් හා හේමසිරි යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

23 October 2019

පාස්කු ඉරුදින ජාතික තවුහිද් ජමාත් සංවිධානය විසින් දිවයිනේ ප්‍රදේශ කීපයක එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව පිළිබඳව කලින්ම බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැරහැරීම සහ මිනී මැරීම සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් නොවැම්බර් මස 06 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (23) නියෝග කළේය. නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී රහස් පොලීසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව සඳහන් කළේය. මෙම ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පුද්ගලයින් ගණනාවකගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් සැකකරුවන්ගේ බැංකු ගිණුම් ඔස්සේ තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවත් ඔහු අධිකරණයට දන්වා සිටියේය. මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය වෙත තවත් ඉල්ලීමක් ඉදිරිපත් කරමින් මෙම නඩුවට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මීට පෙර ප්‍රකාශයට පත් කළ ඇප නියෝගය සහ එම නියෝගය පිළිබඳව නීතිපතිවරයා විරුද්ධ ස්ථාවරයක් දැරීම නිසා මෙම නඩුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරියගෙන් ඉවත් කර වෙනත් මහේස්ත්‍රාත්වරයෙකු හමුවේ කැඳවීම සුදුසු බව ප්‍රකාශ කළේය. ඊට ප්‍රතිචාර දැක්වූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා මෙම ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ සිදු කිරීම වඩාත් සුදුසු බව සඳහන් කර සිටියේය. ඒ අනුව සැකකරුවන් දෙදෙනා නොවැම්බර් මස 06 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන්ද නියම කළේය. අධිකරණ වාර්තාකරු
 

More News..