brand logo

පූජිත් හා හේමසිරි යලි රක්ෂිත බන්ධනාගාරයට

06 November 2019

ජාතික තව්හිත් ජමාත් සංවිධානය විසින් පාස්කු ඉරුදින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳව කලින්ම තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර මිනීමැරීම සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබ සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ලබන 19 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් අද (06) නියෝග කරන ලදී. මෙම පැමිණිල්ල ඊයේ මුලින්ම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ කැඳවන ලැබිය. එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට කරුණු දක්වමින් මෙම පැමිණිල්ල වෙනත් මහේස්ත්‍රාත්වරයෙකු වෙත මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව මහේස්ත්‍රාත්වරිය විසින්ම මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට යොමු කිරීමට නියෝග කරන ලදී. ඉන් අනතුරුව පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ කැඳවනු ලැබූ අතර එහිදී රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පාස්කු ඉරු දින එල්ල කෙරුනු ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව සඳහන් කළහ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් සැකකරුවන් ලබන 19 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා විසින් රහස් පොලිසියට නියෝග කරන ලදී.
 

More News..