brand logo

පූජිත් සහ හේමසිරි 23වැනිදා තෙක් යළි රිමාන්ඩ්

17 December 2019

ජාතික තව්හීත් ජමාත් සංවිධානය විසින් පාස්කු ඉරුදින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය ඇතුළු හිටපු මුස්ලිම් අමාත්‍යවරු කිහිප දෙනෙකුගෙන් සහ කාදිනල් හිමිපාණන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් රහස් පොලිසිය වෙත උපදෙස් ලබාදී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අද (17) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. අදාළ පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විමර්ශනවල ප්‍රගතිය වාර්තා කළ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප් පිරිස් මහතා මෙම විමර්ශනයට අදාළව හිටපු පොලිස්පතිවරු තුන්දෙනෙකු, නියෝජ්‍ය පොලිස්පතිවරු හතර දෙනකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව දැනුම් දුන්නේය. ඊට අමතරව මෙම විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය සහ මුස්ලිම් අමාත්‍යවරුන් කීපදෙනෙකු සහ කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් රහස් පොලිසියට උපදෙස් ලබා දී ඇති බවද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය. ඊට අමතරව තවත් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදුකරන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැන්වීය. පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි සැකකරුවන් ලෙස නම් කර දැනට රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා එම සැකකරුවන් දෙදෙනා ලබන 23 දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අතර එදින පරීක්ෂණ වල ප්‍රගතිය වාර්තා කරන ලෙස රහස් පොලිසියට නියෝග කළේය. (අධිකරණ වාර්තාකරු)
 

More News..