brand logo

පූජිත් සහ හේමසිරි ලබන ජනවාරි 6 තෙක් යළි රිමාන්ඩ්

23 December 2019

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ලබන වසරේ ජනවාරි මස 06 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩි භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. මෙම නඩුව අද (23) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය. පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී රහස් පොලීසිය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පරීක්ෂණයට අදාළව හිටපු ජනාධිපතිවරයා, හිටපු අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා සහ කාදිනල් තුමා ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට පොලීසිය සූදානම් වන බව කියා සිටියේය. මේ පිළිබඳව හිටපු ජනාධිපතිවරයා සහ ලේකම්වරු කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා දින ලබාදෙන මෙන් ඉල්ලා තිබුණත් ඔවුන් මෙතෙක් දින ලබාදී නොමැති බව රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරයා අධිකරණයට දන්වා සිටියේය. ඊට අමතරව මෙම පරීක්ෂණයට අදාලව හිටපු අමාත්‍යවරුන් වන රිෂාඩ් බදියුදීන්, රාවුෆ් හකීම් යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් ගැනීමට රහස් පොලිස් සූදානම්වන බවද දන්වා සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා යම් පුද්ගලයකු පරීක්ෂණවලට අවශ්‍ය ප්‍රකාශ ලබාදීම හිතාමතා ප්‍රමාද කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණ නියෝගයක් අපේක්ෂා කරන බවද දන්වා සිටියේය. නත්තල් අවසන් වීමෙන් පසුව කාදිනල්තුමාගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවද ඔහු දක්වා සිටියේය.
 

More News..