brand logo

පූජිත් සහ හේමසිරි ජනවාරි 20 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

06 January 2020

ඉකුත් පාස්කු ඉරු දින ජාතික තවුහිද් ජමාත් සංවිධානය විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැරීම, මිනීමැරීම යන සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් තවදුරටත් ලබන 20 වනදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (06) නියෝග කළේය. මෙම පැමිණිල්ල කැඳවු ලැබූ අවස්ථාවේදී පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙන බව සඳහන් කළේය. එමෙන්ම විමර්ශනයට අදාළව අසාද්සාලි සහ එම් .එල් .ඒ. එම් .හිස්බුල්ලා යන අයගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා ‌හෙට ‌(07) හෝ අනිද්දා (08) දින තමන් ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැනුම් දී ඇති බවද අධිකරණයට දන්වා සිටියේය. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍යව තිබෙන නමුත් ඒ සඳහා මේ දක්වා දිනයක් ලබා දී නොමැති බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ ය. මෙම විමර්ශනයට අදාළව කාදිනල්තුමා ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍යව තිබුණද කාදිනල් තුමා විසින් පාස්කු දින ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති කොමිසම වෙත දීර්ඝ ප්‍රකාශයක් ලබාදී ඇති නිසා එය මෙම විමර්ශනයට අදාල කරගන්නා ලෙස උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයෙකු නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට කරුණු දක්වා සිටියේය. ඒ අනුව අදාළ ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු තුමා සමග සාකච්ඡා කර කාදිනල් තුමාගේ ප්‍රකාශය මෙම විමර්ශනයට අදාළ කර ගැනීමට පියවර ගන්නා බව පෙන්වාදුන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එබැවින් කාදිනල්තුමාගේ තවත් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය නොවනු ඇතැයි ද දන්වා සිටියේය. මෙහිදී හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිල්ශාන් ජයසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින් මාස තුනකට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවන හෙයින් විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස රහස් පොලිසිය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය. ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා මෙම පැමිණිල්ල නැවත ලබන 20 වනදා කැඳවන ලෙස නියෝග කළ අතර එතෙක් සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය. එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද මහේස්ත්‍රාත්වරයා විසින් රහස් පොලිසියට නියෝග කරන ලදී. (අධිකරණ වාර්තාකරු)
 

More News..