brand logo

පුහුණු තනතුර දුන්නේ ක්‍රීඩා අත්දැකීම් නිසා

14 November 2020

ලෝක ක්‍රිකට් රඟ මඩලේ පොහොසත්ම ක්‍රිකට් රංගනය අයි.පී.එල් හෙවත් ඉන්දීය ප්‍රිමියර් ලීගයයි. ඉකුත්දා එය අවසන් වූයේ පස්වැනි වරටත් එහි ශූරතාව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම දිනාගනිමිනි. ඒ අනුව අයි.පී.එල් ඉතිහාසයේ වැඩිම වරක් ශූරතා දිනූ කණ්ඩායම ලෙසින් මුම්බායි කණ්ඩායම සිය වාර්තාව පෙරට රැගෙන යද්දී එම වාර්තාව මුම්බායි පිල හමුවේ ලියාදීම වෙනුවෙන් සුවිශේෂීම දායකත්වය දැක්වූයේ අපේ එකෙකි. ඒ මහේල ජයවර්ධනයි. මුම්බායි පිලේ ප්‍රධාන පුහුණුකරු වගකීම භාරගනිමින් මේ දක්වා තමන් යටතේ තෙවරක් එම ශූරතා දිනාදීමට දායක වෙමින් අයි.පී.එල් පිටියේ ශ්‍රී ලාංකේය ගෞරවය බවට පත්වූ මහේල ඉකුත් 12වැනිදා මැදියම් රැයේ ශ්‍රී ලංකාවට ළඟාවිය. එසේ පැමිණි ඔහු සිය ගමන් වෙහෙසද නොතකා 13 වැනිදා උදෑසනින්ම ‘සති අග අරුණ’ පාඨක ඔබ වෙනුවෙන් සිය අයි.පී.එල් අත්දැකීම සම්බන්ධයෙන් අදහස් දැක්වීමට දුරකථන මාර්ගිකව මේ අයුරින් එක්වූයේ දින 14ක නිරෝධායන කාලයකට යටත්ව සිටින අතරතුරය. අනෙක් සමහර ක්‍රීඩකයෝ පිටියෙන් විශ්‍රාමගැනීමෙන් පසුව පුහුණුකරුවන් බවට පත්වීම ක්‍රමිකව සිදුවනවා අපි දැකලා තියෙනවා. ඒත් මහේල ජයවර්ධන පුහුණුකරුවෙක් වු​ණේ අපි කාටවත් නොදැනීමයි. ඇත්තටම කොහොමද මේක වුණේ? ඇත්තටම මටත් ලොකු හැඟීමක්වත් තිබුණේ නැහැ පුහුණුකරුවෙක් වෙන්න. මම ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව, අයි.පී.එල් වගේ පුද්ගලික හිමිකාරීත්වයන් සහිත තරගාවලිවල ක්‍රීඩාකරමින් ඉන්න අතරෙ තමයි මට මුම්බායි කණ්ඩායමෙන් මේ ආරාධනාව ලැබෙන්නේ. ඔබට පුහුණුකරුවෙක්ගේ භූමිකාව වෙනුවෙන් තිබුණු කුමන සුදුසුකම් සලකා බලලද ඔවුන් ඔබට මේ ආරාධනාව කළේ? ඇත්තටම මට පුහුණුකරුවෙක් විදිහට අත්දැකීම්වත්, පුහුණුකිරීම පිළිබඳ පාඨමාලාවන් හැදැරීමක්වත් මට තිබුණේ නැහැ. ඔවුන් බැලුවේ ක්‍රීඩකයෙක් හැටියට මම ලබා තිබුණු අත්දැකීම් ගැනම පමණයි. මටත් ඇත්තටම ඒ කියද්දි ඒක අභියෝගයක් වුණා. ඒ වගේම ඒ අත්දැකීම ලබාගන්නත් මට උවමනා වුණා. එතැනදි මම හිතුවා අවුරුදු 2ක පමණ කෙටි කාලයකට මම මේක කරලා බලනවා කියලා. ඒ කාලය ඇතුළත සාර්ථක වුණොත් පමණක් ඉන් එහාට ඒ ගැන කටයුතු කරනවා කියලා හිතාගෙනයි මේ අභියෝගය භාරගත්තේ. ඒ අවුරුදු දෙක සාර්ථක වුණා. ඒ අනුව තමයි මේ දුර එන්න යෙදුනේ. ඒ අහම්බය, අභියෝගයක් කරගෙන, ඒ අභියෝගය සාර්ථක කරගෙන, ඒ අත්දැකීම් නොඅඩුව ලබා ගැනීමට ඔබ දක්ෂ වුණා. මේ වන විට ඔබ වසර 4 ක් පුරා ජයග්‍රාහී පුහුණුකරුවෙක් වශයෙන් රැඳෙනවා. එදා අහම්බයකින් වගේ ඇරඹුණු ගමන අද දක්වාම අඛණ්ඩව සාර්ථක පුහුණුකරුවෙක් ලෙසින් ගොඩනැගෙන මේ අතරවාරයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පිළිගැනීම ලැබෙන විශේෂ පුහුණු පාඨමාලා ආදිය හදාරන්න යෙදුනේ නැද්ද? මේ තාක් කාලයේදී ඇත්තටම මට එහෙම විශේෂ හැදෑරීමක් කරන්න හිතිලා නැහැ. සාර්ථක පුහුණුකරුවෙක් වෙන්න ඒවා අවශ්‍යමද කියලත් මම ලබාපු මේ අත්දැකීම් එක්ක මම කල්පනා කරනවා. බලමුකො ඉස්සරහට.... ඒවා කරන්න ඕනෙ කියලා හිතුනොත් මම ඒවා කරන්නම්. පුහුණු පාඨමාලා ආදී කිසිම දෙයක් සමග නොයෙදී අයි.පී.එල් ඉතිහාසයේ සාර්ථකම පුහුණුකරුවා වෙන්න ඔබට පුළුවන් වුණා. මොකක්ද ඔබේ පුහුණුකාරීත්වයේ තිබෙන මේ ජයග්‍රාහී රහස? මට ක්‍රීඩකයෙක් හැටියට තිබුණු අත්දැකීම් තමයි මම යොදාගත්තේ. ඒ අත්දැකීම් වලින් මම තේරුම්ගත්තු දෙයක් තමයි හැම අවුරුදු කිහිපයකට වතාවක්ම පන්දුවාර 20 ක්‍රිකට් රටාවේ වෙනස්වීම් සිද්ධ වෙනවාය කියන එක. ඒ වෙනස්වීම හඳුනාගෙන් ඒ අනුව අපි අපේ කණ්ඩායමට ගන්න ක්‍රීඩකයන් කවුද කියන එක තීරණය කරනවා. ඒක තමයි මුම්බායි ඉන්දියන්ස් ජයග්‍රහණයේ ප්‍රධාන සාධකය. මුම්බායි කණ්ඩායමට අනුයුක්තව පුහුණුකරුවන් 8 දෙනෙක් ඉන්නවා, ඔවුන්ගේ කාර්යභාරය වෙන්නේ ඉන්දියාව පුරා ගිහින්, දේශීය තරග නරඹලා, ඒ මොහොතේ අපි බලාපොරොත්තුවෙන රටාවට ගැළපෙන ක්‍රීඩකයන් තෝරාගැනීම. මේක ඉන්දියාවේ දේශීය තරගාවලියක් නිසා අපිට ඒ අවස්ථාව ලැබෙනවා. ක්‍රීඩක වෙන්දේසියෙදි මමයි අපේ අනෙක් පුහුණුකරුවොයි ඒ ක්‍රීඩකයන්ව තෝරාගන්නවා. ඒ අනුව තමයි පහුගිය අවුරුදු කිහිපය පුරා ජස්ප්‍රිට් බුම්රා, හර්දික් පාණ්ඩ්‍යා, කෘණාල් පාණ්ඩ්‍යා, ඉෂාන් කිෂාන් වගේ ක්‍රීඩකයන් මුම්බායි කණ්ඩායමට ඇතුළත් වෙන්නේ. ඒ අය ගැන මීට ඉස්සර කවුරුවත් ඒ හැටි දැනුවත් වෙලත් නැහැ. ඔවුන් මුම්බායි පිලට ක්‍රීඩා කිරීමෙන් පසුව තමයි ඉන්දීය ජාතික කණ්ඩායමට සුදුසුකම් ලබන්නෙත්. මේක මුම්බායි කණ්ඩායමේ ඉතාම වටිනා දැක්මක්. ඒ වෙනුවෙන් ඔවුන් ලොකු ආයෝජනයක් කරනවා. මම හිතන්නෙ පුහුණුකරුවෙක් විදිහට ලබන ජයග්‍රහණය පිටුපස මගේ යෙදීම විතරක් නෙමෙයි මේ හැම දෙයක්ම රැඳෙනවා. ඔබ ක්‍රීඩාවෙන් සමුගෙන මහ කාලයක් නැහැ. සමහර විට ඔබේ සමකාලිනයන් ඉදිරියේ ඔබට පුහුණුකරුවෙක් හැටියට ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. ලෝකයේ ඒ ඒ රටවලින් එන ක්‍රීඩකයන් සමග ඒ ගනුදෙනුව කරන්න සිද්ධ වෙනවා. මෙය තරමක අභියෝගයක්. එය කළමනාකරනය කරගන්නේ මොන විදිහටද? දරදඬු විදිහටත් හැසිරෙනවද? අයි.පී.එල් කියන්නෙම අභියෝගයක්. හැබැයි ක්‍රිකට් වලින් සමුගැනීමෙන් පසුව වැඩිය ක්‍රිකට් සමග යෙදුණෙ නැති මම ක්‍රිකට් වලින් තෘප්තියක් ලබාගන්නම ඒ අභියෝගය යොදාගත්තා. කණ්ඩායමට තෝරාගන්නා ක්‍රීඩකයන් සියලුදෙනාම හොඳ ක්‍රීඩකයන් නිසා ඔවුන්ව පුහුණු කරන එක ඒ හැටි අපහසු දෙයක් නෙමෙයි. නමුත් ඒ ඒ අවස්ථාවෙ හැටියට මම හැරසිරෙනවා. දරදඬු වෙන්න ඕනෙ තැනට ඒ විදිහට ඉන්නවා. ඒත් මේ කණ්ඩායම ඇතුළෙ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් වගේම අපි එකතුවෙලා ගොඩනගාපු සංස්කෘතියක් තිබෙනවා. මොන රටෙන් මොන ක්‍රීඩකයා ආවත් ඒ සංස්කෘතියට අනුගත වෙන්න සිද්ධ වෙනවා. ඒක ඇත්තෙන්ම පහසුවක්. තව අතිරේක ප්‍රශ්නයක් තිබෙනවා ගෙවුණු අයි.පී.එල් තරගාවලිය ගැන. මෙවර අයි.පී.එල් තරගාවලියට ඔබ යන්නේ කොවිඩ් අවදානමත් අත දරාගෙන. තරගාවලිය ඇරඹෙන්න ඔන්න මෙන්න කියා තිබෙද්දිත් කොවිඩ් බියක් මතුවුණා. ඔබ මෙය දරාගත්තේ කොහොමද? සාමාන්‍යයෙන් අයි.පී.එල් එක ගහන්නේ මාර්තු අප්‍රේල් මැයි කාලය අතරතුර. ඒ කාලෙ ඉඳලම මේ තරගාවලියේ විකල්ප සත්කාරක රට කොහෙද? එතැනදි සෞඛ්‍ය ක්‍රමවේදයන් මොනවද, අනෙක් රටවල්වල ඉඳලා එන ක්‍රීඩකයන් මොන තත්ත්වයන් යටතෙද ඒ රටවල ඒ අන්තිම දින ඒ අය ගෙවන්නේ ආදී දේවල් කණ්ඩායමක් හැටියත් සොයා බලා ක්‍රමවේදයන් යෙදුවා. මං යටතේ ලොකු කණ්ඩායමක් වගේම ඉඳුම් හිටුම්, සෞඛ්‍ය කාරණා ඇතුළු අනෙක් දේවල් සම්බන්ධයෙන් කටයුතු කිරීමටත් ප්‍රධාන විධායකවරයෙක් යටතේ වෙනම කණ්ඩායමක් ඉන්නවා. මේ ඔක්කොම ඒකාබද්ධ වෙලා හැම දේම ඉතාම හොඳින් සැලසුම් කළා. ඒ වගේ සැලැස්මක් ඇතුළේ විශ්වාසයක් සහිතව තරගාවලියට සහභාගීවෙන්න අවස්ථාව ලැබුණා. මේ අතර කාලයේදී ඔබට ලැබුණු වෙනත් පුහුණු අවස්ථා ගැන සඳහන් කළොත්? මම එංගලන්ත කණ්ඩායමේ විශේෂඥ පුහුණුකරුවෙක් ලෙසින් අවස්ථා කිහිපයක කටයුතු කළා. බංගලිදේශයේ ලීග් තරගාවලියේ අවුරුදු දෙකක් මේ ආකාරයෙන් කටයුතු කරනවා. ලබන අවුරුද්දේ ඉඳලා එංගලන්තයේ පැවැත්වෙන තවත් පුද්ගලික හිමිකාරීත්වය සහිත තරගාවලියක පුහුණුකරු අවස්ථාවක් ඇවිත් තියෙනවා. ඇත්තටම මම වැඩිය දේවල් භාරගන්නෙත් නැහැ. මට ලැබෙන කාලය අනුව තෝරාබේරාගෙන තමයි ඒ ලැබෙන අවස්ථාවන් භාරගන්නේ. ඇත්තටම මහේලගෙ අනාගත ක්‍රිකට් යේදීම තිබෙන්නේ පුහුණුකරුවෙක් හැටියද, නැතිනම් වෙන ආකාරයකින්ද කියන එක ගැන තවම තීරණයක් නැතිද? ඇත්තෙන්ම එහෙම තීරණයක් තවම නැහැ. මම මේ මොහොතේ තිබෙන දේ ගැන පමණයි තවම බලන්නේ. නමුත් ඔබටත් නොදැනිම ඔබ ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙසින් ඉල්ලුමක් සකසාගෙන තිබෙනවා. හෙට ඔබට ඒ ඉල්ලුම ලැබෙන්නේ ශ්‍රී ලංකාවෙන් වෙන්නත් පුළුවන්. රටේ ප්‍රධානියෙක් ඔබගෙන් ඉල්ලුවොත් දැන් ඔබ ලබා තිබෙන ඔය අත්දැකීම් යොදාගෙන ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම ශක්තිමත් කරදෙන්න. ජාතික කණ්ඩායමේ පුහුණුකරු ධුරයක් භාරගන්න කියලා.. ඔබ ඔය කියන ප්‍රධානියා කවුද? ක්‍රීඩා ඇමති හෝ සමහර විට එයින් ඉහළ නායකයෙක් රට වෙනුවෙන් මේ දේ කරලා දෙන්න කියලා ඉල්ලීමක් කළොත්... ඒ කවුරු ඉල්ලීමක් කළත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සිද්ධ වෙන්නේ වෙනම ආකාරයකටනේ. මම අද ඊයේ නෙමෙයි, ගොඩක් කල් ඉඳලාම කියන දෙයක්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන ක්‍රමවේදයේ වෙනසක් විය යුතුයි කියන එක. මම ඒකට සැලසුම් හදලත් දීලා තියෙනවා. ඒ කියන වෙනස්කම් සිදුවිය යුතුයි ඉන් එහාට යමක් ගැන හිතන්න. ඔබ ඔය කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාලයක් පුරා පැවත එන මේ ක්‍රමවේදයන් වල වෙනසක් වුණොත් පමණයි ඔබට ජාතික කණ්ඩායමේ වගකීමක් භාරගන්න හිත්දෙන්නේ? ඔව්. ඒක එහෙම වෙන්න පුළුවන් ඔබ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති. ඒ භාරධුර වගකීමත් සමග ඔබ කොහොමද මේ දේවල් කළමනාකරණය කරගත්තේ. ඉදිරියේදී ඒ වගකීම් සමග පුහුණුකරු වගකීම් ඉටුකිරීම සමබරකරගන්නේ කොහොමද? පළවෙනි කාරණාව, මම වැඩක් භාරගන්නේ ඒ දේ කරන්න පුළුවන් නම් විතරයි. යමක් භාරගත්තාට පසුව මම ඒ දෙයට අවශ්‍ය කාලය අනිවාර්යයෙන්ම යොදවනවා. ජාතික ක්‍රීඩා සභාවේ මා සමග ඉතාම දක්ෂ කණ්ඩායමක් සිටිනවා. අපි හැම සඳුදාම රැස්වීම් පවත්වනවා. මම අයි.පී.එල් යන්න කලිනුත් කොවිඩ් ආදිය නිසා සමහර රැස්වීම පැවැත්වුවේ අන්තර්ජාල තාක්ෂණය යොදාගෙන. මම අයි.පී.එල් ගිහිනුත් ඒ දේ කළා. අයි.පී.එල් අතරෙත් මට තරගයක් තිබුණු දවසක් වුණොත් හැරෙන්න හැම රැස්වීමකටම මම සහභාගි වුණා. මේ වගකීම භාර අරගෙන පළමු මාස තුනක කාලයේ අපි තිරය පසුපස ගොඩක් දේ කළා. වෙනත් රටවල ක්‍රීඩා සභාවන් කොහොමද කටයුතු කරන්නේ කියලා හොයලා බැලුවා. අපි හොඳ පසුබිමක්, පදනමක් සකසාගෙන යනවා. අපිට අවශ්‍ය දේවල් වෙනුවෙන් අවශ්‍ය බලතල ක්‍රීඩා ඇමතිතුමා විසින් ලබාදීල තිබෙනවා. අවශ්‍ය කටයුතු කරන්න නිදහස ලැබිලා තිබෙනවා. නුදුරු අනාගතයේදී අපි මාධ්‍යවල ඔයගොල්ලන්ව කැඳවා අපි කරන දේ මොකක්ද? කරන්න යන දේ මොකක්ද? ඒ සඳහා ක්‍රමවේද වැඩපිළිවෙළ මොකක්ද කියන එක ප්‍රකාශ කරන්නම්. ඉන්ද්‍රජිත් සුබසිංහ
 

More News..