brand logo

පුවත් වෙබ් අඩවියක කර්තෘවරියක් සිරුරට ගිනි තබා ගනී

05 October 2020

පුවත් වෙබ් අඩවියක කර්තෘවරියක සිරුරට ගිනි තබාගෙන මිය යාමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. පසුගිය සිකුරාදා මේ ආකාරයෙන් මරණයට පත්ව ඇත්තේ රුසියාවේ කෝසා ප්‍රෙස් (Koza Press) නමැති පුවත් වෙබ් අඩවියක කර්තෘවරිය වූ අයිරිනා ස්ලේවිනා නමැත්තියකි. ඇය සිය සිරුරට ගිනි තබාගෙන ඇත්තේ රුසියානු අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ කාර්යාලයක් ඉදිරිපිටදීය. තමාගේ මරණයට රුසියාව වගකිව යුතුය යන සටහනක් ඇය ඊට පෙර දිනයේ ඇයගේ ෆේස්බුක් පිටුවෙහි සඳහන් කර තිබී ඇත. අයිරිනා ස්ලේවිනා තම වෙබ් අඩවිය හඳුන්වා ඇත්තේ ‘ඉහළින් එන නියෝග නොපිළිගන්නා, වාරණයක් නැති අඩවියක්’ ලෙසිනි. මේ අනුව ඇය එරට ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටි මාධ්‍යවේදිනියක බව පෙනේ. පසුගිය බ්‍රහස්පතින්දා එරට පොලිසිය තමාගේ නිවස පරීක්‍ෂා කළ බවත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරන සංවිධානයක් වන ඕපන් රෂියා (Open Russia) නමැති සංවිධානයට සම්බන්ධ තොරතුරු ඇත්දැයි ඔවුන් එහිදී සොයා බැලූ බවත් ස්ලේවිනා ප්‍රකාශ කර තිබුණාය. තමාගේ පරිගණක, ජංගම දුරකතන සහ ඒවායෙහි අඩංගු වූ දත්ත පොලිසිය භාරයට ගන්නා ලද බවද ඇය තවදුරටත් සඳහන් කර තිබිණි. තමාගේ පමණක් නොව තම සැමියාගේ සහ දියණියගේ දුරකතන පවා මේ ආකාරයෙන් පොලිස් භාරයට ගෙන ඇති බව ඇය ෆේස්බුක් පෝස්ටුවෙහි සඳහන් කර ඇත. ස්ලේවිනා සිරුරට ගිනි තබාගෙන ඇත්තේ මෙම මර්දනයට එරෙහිව බවක් පෙනේ. ඇය ගොර්කි වීදිය නම් ස්ථානයේ බංකුවක වාඩි වී සිරුරට ගිනි තබා ගත් අවස්ථාව දැක්වෙන විඩියෝද අන්තර්ජාලය තුළ සංසරණය වෙමින් තිබේ. එම අවස්ථාවේ එක් පුද්ගලයකු ඇය වෙත දිව විත් තම කබායෙන් ගින්න නිවීමට උත්සාහ කරන අන්දමත්, ඇය ඊට විරුද්ධත්වය දක්වන අන්දමත්, අවසානයේ ඇය බිම ඇද වැටෙන අන්දමත් මෙහි සටහන්ව ඇත.   සහන් වික්‍රමගේ
 

More News..