brand logo

පුවක් අපනයනය ඉහළට

27 August 2020

පුවක් ඉල්ලුම ඉහළ යෑම නිසා මේ වසරේ මුල් මාස හයේදී පුවක් මෙට්‍රික් ටොන් 9886 ක් අපනයනය කර ඇති බවත් එය පෙර වර්ෂයේ එම කාලයට සාපේක්ෂව මෙට්‍රික් ටොන් 6886ක වැඩිවීමක් බවත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ වසරේ මුල් මාස හයේදී අපනයන භෝග ආදායම රුපියල් මිලියන 27,980 ක් දක්වා වැඩිවී ඇති බවත්,එය 2019 වසරට සාපේක්ෂව වැඩිවීමක් බවත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද පැවැසීය. ඉකුත් වසරේ මුල් මාස හයේදී අපනයන ආදායම රුපියල් මිලියන 27,920කි. ඉකුත් වසරේදී කුරුඳු, ගම්මිරිස්, සාදික්කා ඇතුළු අපනයන භෝග මෙට්‍රික් ටොන් 20,000ක් පමණ අපනයනය කර ඇති අතර මේ වසරේ ජනවාරි සිට ජූනි දක්වා වූ කාලයේදී ඒවා මෙට්‍රික් ටොන් 23,000ක් අපනයනය කර ඇත. මීට අමතරව මේ වසරේ ගම්මිරිස්,පුවක් සහ බුලත් අපනයනයේ වර්ධනයක් දක්නට ලැබෙන බවද හෙතෙම කීවේය. බුලත් මිල තවදුරටත් ඉහළ යෑම පාලනය කිරීම සඳහා බුලත් වගාව ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බව උක්,බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර පැවසීය. බුලත් වගා කිරීමෙන් බොහෝ ගොවීන් ඈත්වී තිබෙන බැවින් බුලත් කොළයක මිල රුපියල් 10.00 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද ඇමැතිවරයා කීවේය. බුලත් මිල ඉහළ යෑම හේතුවෙන් බුලත් විටක මිලද ඉහළ ගොස් තිබේ. ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කීවේය. ‘‘ගෙවත්ත තුළද බුලත් වගාව සිදුකළ හැකියි. ඊට විශාල භූමි ප්‍රමාණයක් අවශ්‍ය නෑ. ඉස්සර සෑම නිවසකම බුලත් වැලක් දෙකක් තිබුණා. පසුගිය කාලයේ බුලත් වගාව ව්‍යාප්ත කිරීම සඳහා අවධානය යොමු කරලා නෑ. ඒ නිසා මිල ක්‍රමයෙන් ඉහළ යනවා. ඵලදායිතාව අඩුනිසා. රට යවද්දී වැඩි මිලට වික්කාට ප්‍රශ්නයක් නෑ. නමුත් දේශීය පරිභෝජනයට ගන්නවා නම් දැනට වගා කරන ප්‍රමාණයට වඩා වගා කළ යුතුයි. රටට අවශ්‍ය බුලත් අස්වැන්න කොපමණදැයි සොයන්න නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ඒ අවශ්‍ය ප්‍රමාණය වගා කරන්න ගොවීන් දිරිමත් කරනවා.’’
 

More News..